Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
විටින් විට වර්ෂාවෙන් බාධා පැමිණුන තුන්වැනි දිනයේදී ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීමට උත්සාහ කරන සෑම අවස්ථාවකදීම පිතිකරුවකු දැවී ගිය නමුත් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නවක ක්‍රීඩක පැතුම් නිස්සංක හුදෙකළා සටනක නිරතව සිටියේය. ඇන්ටිගුවාහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ අද (31 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 250 ක් ලබා තිබිණ.
පළමු ටෙස්ට් තරගයේදී ශතකයක් ලබාගනිමින්, සිය මංගල ටෙස්ට් තරගයේදීම ශතක ලාභීන් අතර සිව්වැනි ශ්‍රී ලාංකිකයා වූ පැතුම් නිස්සංක, අද දිනය නිමා වනවිට නොදැවී ලකුණු 49 ක් ලබා සිටියේය. එහෙත් කොදෙව් පිලේ මුල් ඉනිම පසුකර යන්නට නම් ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 104 ක් ලබාගත යුතුව තිබේ.
අල්සාරි ජෝෂප් සහ ජේසන් හෝල්ඩර් දෙදෙනාගේ බුරුළක් නැති පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට තිබුණේ අසීරු ගමනකි. ලකුණු ලබාගැනීමත් අවශ්‍යව තිබුණෙන් තට්ටු දම දමා ඉන්නවාට වඩා පහර කරා යාමත් අවශ්‍යව තිබිණ.
පිතිකරුවන් අතර සම්බන්ධතාවක් ගොඩනැඟෙන සෑම විටෙකම අයෙක් කඩුල්ල රැකගැනීමටත් අනෙකා ලකුණු කරා යාමත් ශ්‍රී ලංකා පිලේ උපාය විය. එහෙත් වරින් වර ඇදහැළුණු වර්ෂාව පිතිකරුවන්ගේ මානසික ඒකාග්‍රතාව මෙන්ම රිද්මය ද අවුල් කර දැම්මේය.
වර්ෂාවෙන් බාධා පැමිණි හෙයින් දිනය පුරාම යැවුණේ ඕවර 42 ක් පමණි. එහිදී ලකුණු 114 ක් ලබාගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකිවූ නමුත් කඩුලු 5 ක් බිඳ වැටිණ.
කොදෙව් පිලේ දැනට සිටින වේගවත්ම පන්දු යවන්නා වන ෂැනන් ගේබි්‍රයෙල් දිනය ආරම්භ කළේ දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා වෙත යැවූ අධිවේගී පන්දු වරුසාවකිනි. පළමු ඕවරයේදී ගේබි්‍රයෙල්ගෙන් ලැබුණු කෙටි පන්දුවක් මඟහැරීමට චන්දිමාල් ගත් උත්සායේදී පිත්තේ වැදුණු පන්දුව ෆෝවර්ඩ් ෂෝට් ලෙග් ක්‍රීඩකයා ඉදිරියේ බිම වැටිණ. මඳ වේලාවකට පසුව චන්දිමාල්ගේ පිත්තේ වැදුණු තවත් කෙටි පන්දුවක් ගලී හි සිටි රකීම් කොන්වෝල් වෙත ඇදී ගියද මහත දෙහෙත කොන්වෝල්ට උඩ පන්දුව තමන් වෙත එන වේගයෙන් ක්‍රියාත්මක වීමට නොහැකි විය. ඔහු වෙතින් ගිළිහී ගියේ පහසු උඩපන්දුවකි.
උත්සාහය අත් නොහළ ගේබි්‍රයෙල්, ඩීප් ස්ක්වෙයාර් ලෙග් හි ක්‍රීඩකයකු රඳවා දිගින් දිගටම චන්දිමාල්ට කෙටි පන්දු යැවීය. පිට ඉන්නට එපිටින් ඉහළ නැඟුණු පන්දුවකට පුල් පහරක් ගැසීමට ගිය චන්දිමාල්ගේ උඩපන්දුව ඩීප් ස්ක්වෙයාර්හි සිටි අතිරේක ක්‍රීඩකයාගේ දෑත් අතර සිරවූයේ පැය තුනකට ආසන්න කළ චන්දිමාල්ගේ පිතිහරඹය ලකුණු 44 කින් නතර කරමිනි. පන්දු 101 කට මුහුණ දී සිටි යුද හමුදා නිලධාරියා හතරේ පහර 6 ක් සිය ඉනිමට ඇතුළත් කර තිබිණ.
ධනංජය ද සිල්වා දැවී ගියේ ජර්මේන් බ්ලැක්වුඩ්ගේ පන්දුවක් කඩුල්ලට යා නොදී පා ආවරණයෙන් මුවා කළේ යයි වරදට හසුවීමෙනි. පිට ඉන්නට එපිටින් පතිත වූ පන්දුව තියුණු ලෙෂ දඟ කැවෙමින් තමන් වෙත ආ හෙයින් පිතිකරුවා කිසිත් නොදොඩාම ආපසු ක්‍රීඩාගාරය කරා පියමං කළේය. එහෙත් බ්ලැක්වුඩ්ගේ ඉල්ලීමට බොහෝ වේලාවක් සිතා මතා සිය දබරැගිල්ල එසවූ ජොයෙල් විල්සන් මහතාගේ තීරණය වැරදි බව රූපවාහිනී ප්‍රතිදර්ශන වලින් තහවුරු විය. පන්දුවේ ගමන් මග හඳුනා ගන්නා (Ball Tracking) තාක්‍ෂණයෙන් තහවුරු වූයේ පන්දුව, කඩුල්ලේ නොවැදී, පා ඉන්නෙන් ඉවතට ඇදී යන බවයි.
විනිසුරු තීරණ විමසීමට ගියේ නම් ධනංජයට සිය කඩුල්ල ආරක්‍ෂා කරගත හැකිව තිබුණ නමුත් ඒ වන විටත් ක්‍රීඩක විවේකාගාරයේ ස`ඳලුතලයට වී සිටි මිකී ආතර් මහතා සිදුවීම ගැන කෝපාවිෂ්ඨව සිටියේය.
වර්ෂාව හේතුවෙන් දිවා ආහාරයෙන් පසුව යැවුණේ ඕවර 10 ක් පමණකි. එහෙත් පන්දු 25 කදී ලකුණු 21 ක් ලබාගැනීමට නිරෝෂන් දික්වැල්ල උත්සුක වූයේය. නිතරම හිතුවක්කාර පහර කරා යොමුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන දික්වැල්ල අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ දිගු ගමනක් යා හැකි ක්‍රීඩකයකු වූවත් ටෙස්ට් තරග වලදී ඔහු පෙන්වන කඩිකුලප්පුව නම් ඔහුගේ අනාගතයට එතරම් හිතකර නොවේ. ඇරත් මේ වන විට, හොඳින් ලකුණු ලබාගත හැකි කඩුලු රකින්නන් කිහිප දෙනකුම ශ්‍රී ලංකා සංචිතයේ සිටින බැවින් දික්වැල්ල ඉදිරියේ ඇත්තේ අසීරු අභියෝගයකි.
මේ සියල්ල අතරේ තවමත් දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන පැතුම් නිස්සංක තැන්පත් පිතිහරඹයක නිරත වෙමින් සිටියේය. ඉතාම ස්ථාවර පෙර පාදයේ ආරක්‍ෂිත පහරක් සතුව සිටින නිස්සංක, අවස්ථාව ලැබුණු වහාම නොපැකිළවම ස්ක්වෙයාර් කට් පහරට පෙළඹෙන්නේය. වැඩි ජවයක් සහිත මෙම පහරට මුහුණ දෙන පන්දුව රැකගැනීමට වඩා හතරේ සීමාව වෙත ගොස් එය අහුළාගෙන ඒමට පන්දු රකින්නෝ කැමති වෙති.
තේ පානයෙන් පසුවත් විටින් විට වර්ෂාවෙන් බාධා වූ හෙයින් හෝරා දෙකක කාලය ඕවර 12 කට සීමා විය. එහෙත් පැතුම්ගේ මනස විකල් කිරීමට වර්ෂාවට නොහැකි විය. පැය තුනකට ආසන්න කාලයක් (විනාඩි 171 ක්) පුරා පන්දු 119 කට මුහුණ දුන් දකුණත් පිතිකරුවා අවස්ථා 4 කදී පන්දු රකින්නන් හතරේ සීමාවෙන් එපිටට යැව්වේ පන්දුව අහුලාගෙන එනු පිණිසය.
කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් ප්‍රේක්‍ෂකයන්ගෙන් තොර, හිස් ක්‍රීඩාංගණයක පැවැත්වෙන මෙම තරගයේදී පන්දුව අහුලා දීමට කුඩා දරුවන් නොසිටින බැවින් පන්දුව අහුලාගෙන ඒමත් ක්‍රීඩකයන්ගේම කාරියකි.
ලකුණු පුවරුව | |
බටහිර ඉන්දීය කොදෙව් - පළමු ඉනිම 354 | |
ශ්‍රී ලංකාව - පළමු ඉනිම | |
දිමුත් කරුණාරත්න - ඇ.බෝනර් ප.අල්සාරි ජෝෂප් | 1 |
ළහිරු තිරිමාන්න - ප.කෙමර් රෝච් | 55 |
ඕෂධ ප්‍රනාන්දු - ක.මු.කළා ප.කයිල් මේයර්ස් | 18 |
දිනේෂ් චන්දිමාල් - ඇ.අතිරේක ප.ගේබි්‍රයෙල් | 44 |
ධනංජය ද සිල්වා - ක.මු.කළා ප.බ්ලැක්වුඩ් | 39 |
පැතුම් නිස්සංක - නොදැවී | 49 |
නිරෝෂන් දික්වැල්ල - ඇ. ද සිල්වා ප.හෝල්ඩර් | 20 |
සුරංග ලක්මාල් - ඇ.බ්‍රැත්වෙයිට් ප.අල්සාරි ජෝෂප් | 6 |
දුෂ්මන්ත චමීර - ඇ.ද සිල්වා ප.හෝල්ඩර් | 2 |
ලසිත් ඇඹුල්දෙණිය - නොදැවී | 0 |
අතිරේක | 16 |
එකතුව ඕවර 103.1 කදී කඩුලු 8 ක් දැවී | 250 |
කඩුලු වැටීම | |
1-18(දිමුත් කරුණාරත්න), 2-64(ඕෂධ ප්‍රනාන්දු), 3-77(ළහිරු තිරිමාන්න), 4-152(දිනේෂ් චන්දිමාල්), 5-177(ධනංජය ද සිල්වා), 6-203(නිරෝෂන් දික්වැල්ල), 7-214(සුරංග ලක්මාල්), 8-231(දුෂ්මන්ත චමීර) | |
පන්දුවට පහරදීමට සිටින පිතිකරු | |
විශ්ව ප්‍රනාන්දු | |
පන්දු යැවීම | |
කෙමර් රෝච් : 16-4-54-1 ෂැනන් ගේබි්‍රයෙල් : 14.1-3-33-1, අල්සාරි ජෝෂප් : 22-4-64-2, ජේසන් හෝල්ඩර් : 21-3-39-2, කයිල් මේයර්ස් : 11-7-10-1, රකීම් කොන්වෝල් : 15-5-25-0, ජර්මේන් බ්ලැක්වුඩ් : 4-0-16-1 |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.