Last Update  :  2025-08-20 15:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාසල් 690 කට ක්‍රිකට් උපකරණ

පාසල් 690 කට ක්‍රිකට් උපකරණ

editorial - 2025 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

 

සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩකයකුට මෙන්ම ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ සමාන අවස්ථා ලබාදීම වෙනුවෙන්ම නිර්මාණය කරන ලද ‘ක්‍රිකට් මං පෙත’ වැඩ සටහන යටතේ කණිෂ්ඨ පාසල් 690 ක් සඳහා ක්‍රිකට් උපකරණ කට්ටල බෙදා දීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් අද (20 වැනිදා) පැවැත්විණ. එහි ප්‍රධාන (කොළඹ දිස්ත්‍රික්) උත්සවය ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ රීඩ් මාවතේ පිහිටි ක්‍රීඩා අමාත්‍යංශයේ ‘ඩන්කන් වයිට්’ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. 

මෙම උත්සවය සමගාමීව දිවයිනේ තවත් දිස්ත්‍රික්ක 24 ක, මධ්‍යස්ථාන 24 කදී පාසල් සඳහා කනිෂ්ඨ ක්‍රිකට් උපකරණ කට්ටල බෙදා දෙන ලදි. 

පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය වාර්ෂිකව වෙන්කරනු ලබන මුදල රුපියල් බිලියන දෙක හමාරක් හෙවත් කෝටි 250 කි. පාසල් සඳහා ක්‍රිකට් ආම්පන්න පිරිනැමීම, ක්‍රිකට් තරග සංවිධානය මෙන්ම විනිසුරුවන්, පුහුණුකරුවන් සහ නිලධාරීන් ඇතුළු අනෙකුත් පාර්ශ්වයන් සඳහා කරනු ලබන ගෙවීම් වෙනුවෙන් එවන් මුදලක් වැයවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද මහතා පැවසීය. 

 

මෙම වැඩ සටහන යටතේ අද බෙදා දෙන ලද ක්‍රිකට් උපකරණ සහ ආම්පන්න පහත පරිදි වේ. 
● කණිෂ්ඨ ක්‍රිකට් උපකරණ කට්ටල 690 ක්
● ක්‍රිකට් පාවහන් යුගළ 9995 ක්
● පන්දු විසිකිරීමේ උපකරණ (ඔයරදඅසබට ්රපි) 970 ක්
● ක්‍රිකට් පුහුණුකරුවන් සඳහා උපකරණ කට්ටල 97 ක්
● ක්‍රිකට් පන්දු 2760 ක්

මෙම උපකරණ බෙදා දීමේ උත්සවය ඇමතූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද මහතා කියා සිටියේ මෙම ක්‍රීඩා උපකරණ ලබාගත්තා පමණක් නොව ඒවායින් නිසි ප්‍රයෝජන ගැනීම සහ ඒවායේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් සෑම පාසලක්ම රජයේ විගණන කාර්යාලයේ නිලධාරීන් සමග වගකීමෙන් බැඳී කටයුතු කළ යුතුවන බවයි.

අද දිනයේ දිවයින පුරා පැවැති ක්‍රිකට් උපකරණ බෙදාදීමේ සෑම උත්සවයකටම රජයේ විගණන කාර්යාලයේ නිලධාරීහු ද සහභාගි වූහ. 

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අපට ලොකු ලොකු දේපළ නෑ.. අපට තියෙන්නෙ ‘ශ්‍රී ලංකා ක්‍රිකට්’ කියන සන්නාමය විතරයි”

“‘ශ්‍රී ලංකා ක්‍රිකට් කියන සන්නාමය’ අරගෙන ලෝකෙ වටේ ගිහිල්ලා තමයි අපි මේ මුදල් හොයාගන්නේ. ඒවා ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනයට යොදවන්නේ... රජයේ භාණ්ඩාගාරයෙන් ආපු සතයක් වත් මෙතන නෑ.” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද මහතා පැවසීය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් (පාසල් ක්‍රිකට් තරග ද ඇතුළුව) වසරකදී ක්‍රිකට් තරග 50,000 ක් පමණ පැවැත්වේ. ඒ සෑම තරගයකදීම විනිසුරුවරුන්ට, ලකුණු සටහන් කරුවන්ට, ක්‍රීඩාංගණ සූදානම් කරන්නන්ට මෙන්ම තණතීරු සැකසුම් කරුවන්ටත්, අන්තර් සමාජ සහ ජාතික මට්ටමේ ක්‍රීඩකයන් ඇතුළුව ක්‍රිකට් ක්‍රීඩාව සමග වෘත්තීමය වශයෙන් බද්ධවී සිටින සියලු දෙනාම ගෙවීම් ලබන බවත් ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යූහයට  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් දැවැන්ත මුදල් කන්දරාවක් වෙන් කෙරෙන බවත් ගොඩලියැද්ද මහතා වැඩිදුරටත් පැවසීය. 

මීට අමතරව අවු. 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන්ට සහ දිස්ත්‍රික් සංචිතවලට ඇතුළත්ව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ද ක්‍රිකට් පාවහන් යුගළ බැගින් බෙදා දෙන ලදි. ඒ අනුව ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පාවහන් යුගළ 9995 ක් පරිනමන ලදි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පිහිටුවා තිබෙන ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය යටතේ ක්‍රියාත්මක දිස්ත්‍රික් සංචිතවල පසුවන අවු. 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ ක්‍රීඩකයන්ටත්, 19 න් පහළ බාළිකාවන්ටත් ක්‍රීඩා පාවහන් යුගළ බැගින් පිරිනමන ලදි. ඒ අනුව දිස්ත්‍රික් සංචිත වලට ඇතුළත්ව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පාවහන් යුගළ 3250 ක් ද, අවු. 19 න් පහළ ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන පාසල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පාවහන් යුගළ 6138 ක්ද, පළාත් සංචිතවල පුහුණුව ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පාවහන් යුගළ 607 කේ ද වශයෙන් පාවහන් යුගළ 9995 බෙදා දීමට පියවර ගැනිණ. 

මේ සියල්ලට අමතරව දිස්ත්‍රික් සංචිත සහ දිස්ත්‍රික් සංගම් යටතේ පුහුණුකිරීම් සඳහා ක්‍රිකට් පන්දු 2760 ක්ද මෙම වැඩසටහන යටතේ පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.  

ක්‍රිකට් මං පෙත වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වසරින් වසර පාසල් 1000 කට ආසන්න සංඛ්‍යාවකට අත හිත දෙයි. 

 


අදහස් (0)

පාසල් 690 කට ක්‍රිකට් උපකරණ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.