Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තානුවෝ තෙවැනි ජයත් ලබති

පාකිස්තානුවෝ තෙවැනි ජයත් ලබති

editorial - 2021 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‍(ශානුක අරවින්ද)

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 24 වැනි තරගය ලෙස පාකිස්තානය සහ ඇෆ්ඝනිස්තානය අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ දෙවැනි කාණ්ඩයේ තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග මේ දක්වා සහභාගි වූ තරග‍ 3 න්ම ජය ලබා සිටින පාකිස්තානය අපරාජිතව ‘දෙවැනි’ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටියි.

ජයග්‍රහණය සඳහා ලකුණු 148 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායම පන්දු 6 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී එම ඉලක්කය සම්පූර්ණ කළහ. තරගය ‍ජයගැනීම සඳහා පාකිස්තාන කණ්ඩායමට අවසන් පන්දු 12 දී ලකුණු 24 ක් රැස්කිරීමට සිදුවූ අතර 19 වැනි ඕවරයේදී හයේ පහර 4 ක් සමගින් එම ලකුණු 24 ලබාගත් අසීෆ් අලී සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය. පන්දු 7 කදී නොදැවී රැස්කළ වේගවත් ලකුණු 25 හේතුවෙන් තරගයේ වීරයා ලෙසද අසීෆ් සම්මාන ලැබීය.

ලකුණු 12 ක්ව තිබියදී පාකිස්තාන ඉනිමේ පළමු කඩුල්ල ලෙස මොහොමඩ් රිස්වාන් ලකුණු 8 කට දැවී ගියද, ෆකාර් සමාන් (30) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කදී ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නායක බාබර් අසාම් (51) පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමුවේය. පන්දු 47 කදී වාර්තා වූ අසාම්ගේ අර්ධ ශතකයට හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 25 කදී වාර්තා වූ සමාන්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහරකින් සමන්විත විය.  

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 147 ක් ලබාගත්තේය. ලකුණු 76 කට කඩුලු 6 ක් බිඳවැටී අඩපණ වී තිබූ ඇෆ්ඝනිස්තාන ඉනිමට නව ජවයක් එක්කළ නායක මොහොමඩ් නබී (නොදැවී 35) සහ ගුලාබ්දීන් නයිබ් (නොදැවී 35) හත්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 71 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ.

එහිදී පන්දු 25 කට මුහුණදුන් නයිබ් හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 32 කදී වාර්තා වූ නබීගේ ඉනිම හතරේ පහර 5 කින් සමන්විත විය. නජිබුල්ලා සද්රාන් පන්දු 21 කදී ලකුණු 22 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි. මුල් ඕවර 6 (අධිවේගී) තුළදී ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම ලකුණු 49 කට සීමා කළ පාකිස්තාන පන්දු යවන්නෝ එහිදී මුල් පෙළ පිතිකරුවන් සිවුදෙනෙකුම ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවූහ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඉමාඩ් වසීම් සිය ඕවර 4 ලකුණු 25 කට සීමාකරමින් කඩුුලු 2 ක් බිඳහෙළීය.

 

ඇෆ්ඝනිස්තානය - ඕවර 20 කදී 6 ක් දැවී 147
(කරීම් ජානත් 15, නජිබුල්ලා සද්රාන් 22, මොහොමඩ් නබී නොදැවී 35, ගුලාබ්දීන් නයිබ් නොදැවී 35, ඉමාඩ් වසීම් 25/2)

පාකිස්තානය - ඕවර 19 කදී කඩුලු 5 කට 148
(බාබර් අසාම් 51, ෆකාර් සමාන් 30, ෂොයිබ් මලික් 19, අසීෆ් අලී නොදැවී 25, රෂීඩ් ඛාන් 26/2)

 


අදහස් (0)

පාකිස්තානුවෝ තෙවැනි ජයත් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.