Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ප්‍රභාත් සහ සමාගම ශ්‍රී ලංකාව කඩුලු 10 කින් දිනවයි
එස්.එස්.සී. ටෙස්ට් තරගය

ප්‍රභාත් සහ සමාගම ශ්‍රී ලංකාව කඩුලු 10 කින් දිනවයි

editorial - 2024 පෙබ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
(දමින්ද විජේසූරිය)

දෙවැනි නව පන්දුව ලබාගැනීමත් සමගින්, ලකුණු 82 ක් ඇතුළත ඇෆ්ඝනිස්තානු කඩුලු 9 ක් බිමදැමූ ප්‍රභාත් ජයසූරිය (107/5) ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් තරගයේදී කඩුලු 10 ක ජයක් කරා යාමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට මාර්ගය සකස් කර දුන්හ. ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 56 පහසුවෙන්ම ලබාගත් දිමුත් කරුණාරත්න (නොදැවී 32) සහ නිෂාන් මධුෂ්ක (නොදැවී 22) දෙදෙනා සිව්වැනි දින තේ පානයටත් හෝරාවක් පමණ තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියහ.

පිතිකරුවන්ට ක්ෂේම භූමියක් වූ තණතීරුවක නිශ්චිත අරමුණක් ඇතිව, ඉලක්කයකට පන්දු යැවූ ප්‍රභාත් ජයසූරිය, විශ්ව ප්‍රනාන්දු (51/4) සහ අසිත ප්‍රනාන්දු (24/3 සහ 63/3) එක්ව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම ජයග්‍රහය අත්කර දුන්හ. ඇන්ජලෝ මැතිව්ස් (141), දිනේෂ් චන්දිමාල් (107) සහ දිමුත් කරුණාරත්න (77 සහ නොදැවී 32) පිත්තෙන් ඊට අගනා දායකත්වයක් සැපයූහ.

කඩුලු 1 කට ලකුණු 199 ක් ලබා අද උදෑසන තරගය ආරම්භ කළ ඇෆ්ඝනිස්ථානුවෝ දෙවැනි නව පන්දුව ලබාගන්නා විටත් කඩුලු 1 කට ලකුණු  211 ක් ලබා සිටියහ. එහෙත් දෙවැනි නව පන්දුව හමුවේ ඊබ්‍රහිම් සද්රාන් සහ රහමත් ෂා දෙදෙනාට සම්බන්ධතාව ආරක්‍ෂා කරගත හැකිවූයේ පන්දු 8 ක් දක්වා පමණි. කසුන් රාජිත යැවූ පන්දුවක් රහමත් ෂාගේ පිත්තේ යාන්තමින් ගෑවී ගොස් කඩුලු රකින්නා වූ සධීර සමරවික්‍රමගේ අත් ආවරණ අතරේ සැඟවී ගියේය. ආරම්භය එයයි.

තමන්ගේ මුල් ඉනිමේ අවාසිය අහෝසි කරන විටත් ඇෆ්ඝනිස්ථානුවන් අත කඩුලු 7 ක් තිබිණ. එහෙත් එතැන් සිට කඩුලු පෙරහැරකි. නායක හෂ්මතුල්ලා ශහිඩිගේ දැවී යාමත් ප්‍රභාත් ජයසූරියගේ සිව්වැනි කඩුල්ලත් අතර පරතරය ඕවර 4.2 කි. ලකුණු 4 කි. කඩුලු 4 කි. දිවා ආහාරය සඳහා ක්‍රීඩාව නතර කරන විට ඇෆ්ඝනිස්ථානු කණ්ඩායම දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 251 ක් ලබා සිටියද ඒ වන විටත් ලකුණු 10 කින් පමණක් ඉදිරියෙන් සිටි සංචාරකයන් සතුව තිබුණේ කඩුලු 3 ක් පමණි.

දිවා ආහාරයෙන් පසුව කඩුල්ලේ රැඳී සිටීමට වඩා වේගයෙන් ලකුණු රැස්කිරීමට උත්සාහ කළ ඇෆ්ඝනිස්ථානු පිතිකරුවන්ට එය දිගු වේලාවක් සාර්ථක කරගත නොහැකි විය. නසීර් ජමාල් නොදැවී ලකුණු 41 ක් ලබාගත් නමුත් අනෙක් අන්තයේ සිටි පිතිකරුවෝ දැවී ගියහ.

පිතිකරුවන්ගේ පරාදීසයක් බඳු තණතීරුවක, මුල් ඉනිමේදීත් කඩුලු 3 ක් දවාගත් ප්‍රභාත් ජයසූරිය තරගයේ වීරයා වශයෙන් සම්මාන දිනාගත්තේය. මෙ වන විට ටෙස්ට් තරග 10 කදී කඩුලු 67 ක් දවාගෙන සිටින ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් ඉනිම 7 කදී කඩුලු 5 ක් හෝ ඊට වැඩියෙන් දවාගෙන ඇතත්, ගාල්ල ක්‍රීඩාංගණයෙන් පිටතදී කඩුලු 5 ක් දවාගත් පළමු අවස්ථාව මෙයයි.

 
 
 

(ඡායාරූප - කුෂාන් පතිරාජ) 


අදහස් (0)

ප්‍රභාත් සහ සමාගම ශ්‍රී ලංකාව කඩුලු 10 කින් දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.