Last Update  :  2025-05-09 20:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්දු රැකීමේ පුහුණුවට උපදේශකයකු ගෙන්වයි

පන්දු රැකීමේ පුහුණුවට උපදේශකයකු ගෙන්වයි

editorial - 2025 මැයි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහ ක්‍රීඩිකාවන්ගේත් පන්දු රැකීමේ තත්ත්වය ඉහළ නැංවීම සඳහා තාවකාළික උපදේශකවරයකු ලෙසින් ඉන්දීය කණ්ඩායමේ හිටපු පන්දු රැකීමේ පුහුණුකරුවකු වන රාමක්‍රිෂ්ණන් ශ්‍රීධර් මහතා කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහ ක්‍රීඩිකාවන්ගේ පන්දු රැකීමේ ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා ශ්‍රීධර් මහතා දින 10ක වැඩමුළුවක් පැවැත්වීමට නියමිතය. 

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෝ, ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ක්‍රීඩකයෝ සහ ජාතික කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවෝ මෙන්ම ශ්‍රී ලංකා 19 න් පහළ සංචිතයේ සිටින ක්‍රීඩකයෝත් මෙම වැඩමුළුවට සහභාගි වෙති. වැඩමුළුව මැයි 7 වන දින ආරම්භ වන අතර ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්‍රීඩා සමාජ වල සිටින ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් ද ඊට ඇතුළත් වනු ඇත. 

රාමක්‍රිෂ්ණන් ශ්‍රීධර් මහතා 2014 සිට 2021 දක්වා ජාත්‍යන්තර තරඟ 300 කට අධික සංඛ්‍යාවකදී ඉන්දීය ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස සේවය කරමින් අත්දැකීම් සම්භාරයක් රැස්කරගත් අයෙකි. ඔහු ක්‍රිකට් පුහුණුකරුවන් සඳහා වන III වන තලයේ සහතිකයකට හිමිකම් කියයි. 

ශ්‍රීධර් මහතා ශ්‍රී ලංකා ජාතික පිරිමි කණ්ඩායම සමඟ සිය වැඩසටහන ආරම්භ කරන අතර පසුව අනෙකුත් කණ්ඩායම් වෙත අවතීර්ණ වීමට නියමිතය. එහිදී ඔහු පන්දු රැකීමේ අභ්‍යාස, කුසලතා පුහුණුව මෙන්ම විශේෂයෙන් නිර්මාණිත තරග තත්ත්වයන් ද පන්දු රැකීමේ අභ්‍යාස සඳහා භාවිතා කිරීමට නියමිතය. 

රාමක්‍රිෂ්ණන් ශ්‍රීධර් මහතාගේ සේවා කාලය දින 10 කි. 
2023 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම පහළටම ඇද වැටී තිබුණු අතර 2023 ලෝක කුසලාන තරගාවලියේදී පමණක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් බිම හෙළන ලද උඩපන්දු සංඛ්‍යාව 20 කට වැඩි විය. පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරුවා වශයෙන් හිටපු ටෙස්ට් සහ එක්දින ක්‍රීඩක උපුල් චන්දන මහතා පත්කරන ලදි. 

උපුල් චන්දන මහතාගේ දායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රමිතිය ඉතා ඉහළ තලයකට පත්ව තිබෙන අතරම උඩපන්දු රැකගැනීමේ ප්‍රතිශතය 50% සිට 85% - 90% මට්ටමකට ළඟාවී තිබේ. 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග බැඳී සිටින කොන්ත්‍රාත්තුව අනුව උපුල් චන්දන මහතා මේ වසරේ දෙසැම්බර් මාසය දක්වාම ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරුවා වශයෙන් කටයුතු කිරීමට නියමිතය. 

 


අදහස් (0)

පන්දු රැකීමේ පුහුණුවට උපදේශකයකු ගෙන්වයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.