Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්දු රකින්නෝ තරගය කණපිට හරවති

පන්දු රකින්නෝ තරගය කණපිට හරවති

editorial - 2021 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එවින් ලුවිස්ගේ ප්‍රචණ්ඩකාරී ඉනිමත්, කොදෙව් ක්‍රීඩකයන්ගේ අති විශිෂ්ට පන්දු රැකීමත් නිසා පස්වැනි සහ අවසන් විස්සයි-20 තරගයේදී ලකුණු 16 ක ජයක් ලබාගත් කොදෙව්වෝ තරග 5 කින් සමන්විත වි-20 තරගාවලියේදී 4-1 ක ජයක් ලබාගත්හ. ශාන්ත ලුසියාහි ඩැරන් සැමී පිටියේදී පැවැති මෙම තරගයේදී ලබාගත් ජය ලෝක කුසලාන තරගාවලියට පොරතුව කොදෙව්වන් හිමිකරගත් අගනා වාසියකි.

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රධාන කාණ්ඩයේදී ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කණ්ඩායම් එකම කාණ්ඩයට වැටී සිටිති.

පන්දු 34 කින් ලකුණු 79 ක් ලබාගත් ලුවිස්ගේ අති ප්‍රචණ්ඩකාරී ඉනිම හේතුවෙන් කොදෙව්වෝ සිය ප්‍රතිවාදීන්ට ලකුණු 200 ක අභියෝගයක් එල්ල කළහ. ඕස්ට්‍රේලියානුවන්ද ඉලක්කය හඹා ගිය නමුත් ඔවුන්ගේ කඩුලු දැවී ගොස් තිබිණ. අවසානයේදී ඕස්ට්‍රේලියා ඉනිම ලකුණු 183 දී නතර විය.

කොදෙව්වෝ තරගය ආරම්භ කළේම භයංකාර විලාසයකිනි. ඇන්ඩ්‍රි ෆ්ලෙචර් සහ එවින් ලුවිස් දෙදෙනා පළමු ඕවර 4 න් ලකුණු 40 ක් ලබාගෙන සිටියදී ඇඩම් සම්පා විසින් ෆ්ලෙචර්ගේ ඉනිම ලකුණු 12 කට අවසන් කළේය. එහෙත් එය කරදරයකට අතවැනීමක් විය. අනතුරුව පිටියට පැමිණි ක්‍රිස් ගේල් සම්පාගේ ඕවරයේ ඉතිරි පන්දු 5 න් ලකුණු 20 ක් උදුරාගත්තේ හතරේ පහර දෙකක් සහ හයේ පහර දෙකක් ද සමගිනි. ජේසන් බෙරෙඩෝෆ්ගේ ඊළඟ ඕවරයේදී එවින් ලුවිස් තවත් ලකුණු 21 ක් උදුරා ගත්තේය.

ගේල්ගේ ඉනිම ලකුණු 21 න් නතර වූ නමුත් ලුවිස්ව පාලනය කළ නොහැකි විය. පන්දු 23 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ ලුවිස්ගේ ඉනිම 11 වැනි ඕවරයේදී අවසන් වන විට එය හයේ පහර 9 කින් සහ හතරේ පහර 4 කින් අලංකාර වී තිබිණ. ඔහුගේ ලකුණු 79 න් ලකුණු 70 ක්ම පැමිණියේ හයේ සහ හතරේ පහර වලිනි. ඒ වන විටත් ඔහු විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී හයේ පහර 100 ක් ගැසූ පිතිකරුවන් අතර හත්වැනියා වී සිටියේය.

ලුවිස් දැවී ගිය නමුත් එතැනින් ගමන ආරම්භ කළ නිකලස් පූරන් පන්දු 18 කදී ලකුණු 31 ක් ලබාගත්තේ හයේ පහර 3 ක් සහ හතරේ පහරකින් සිය ඉනිම සරසමිනි.

ආරම්භක පිතිකරුවන් වූ ජෝ පිලිප් ලකුණු නොලබා දැවී ගියේය. එහෙත් ඒරන් ෆින්ච් (34), මිචෙල් මාෂ් (30) සහ මොයිසස් හෙන්රිකස් (21) එක්ව 10 වැනි ඕවරය වන විට ලකුණු 95 ක් පුවරුවට එක්කර තිබිණ. අවශ්‍ය ලකුණු වේගයත්, කඩුලුත් ඉතිරිව තිබු බැවන් ජයටැඹ කරා යාම සඳහා ඕස්ට්‍රේලියානුවන්ටත් අවස්ථාවක් තිබිණ.

හේඩ්න් වොල්ෂ්ගේ පන්දුවකට ෆින්ච් ගැසූ පහරක් ලෝන්ග් ඕන් කලාපයට ඉහළින් ඇදී යද්දී අදහාගත නොහැකි ලෙසින් ඒ වෙත පියාඹාගිය ෆේබියන් ඇලන්, සිය වම් අතින් උඩපන්දුව රැකගන්නා අයුරු පිතිකරුවාටවත් විශ්වාස කළ නොහැකි විය. තවත් පන්දු දෙකකට පසුව, කඩුලු රකිමින් සිටි නිකලස් පූරන් ෂෝට් මිඩ්විකට් කලාපයට දිව යමින් පන්දුව අහුලාගෙන පිතිකරුවාගේ කඩුල්ලට දමාගැසුවේ මොයිසස් හෙන්රිකස්ගේ ඉනිම ලකුණු 21 කට සීමා කරමිනි.

එතැන් සිට ඕස්ට්‍රේලියානු ඉනිම කඩා වැටුණු අතර 20 වැනි ඕවරය නිමාවේදී ලකුණු පුවරුවේ සටහන් වූයේ කඩුලු 9 කට 183 ක් ලෙසිනි.


බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 199
(ඇන්ඩ්‍රි ෆ්ලෙචර් 12, එවින් ලුවිස් 79, ක්‍රිස් ගේල් 21, ලෙන්ඩ්ස් සිමන්ස් 21, නිකලස් පූරන් 31, හේඩ්න් වොල්ෂ් නොදැවී 12, ඇඩම් සම්පා 30/2, ඇන්ඩෲ ටේ 37/3, මිචෙල් මාෂ් 12/2)

ඕස්ට්‍රේලියාව - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 183
(ඒරන් ෆින්ච් 34, මිචෙල් මාෂ් 30, මොයිසස් හෙන්රික්ස් 21, මැතිව් වේඩ් 26, ඇන්ඩෲ ටේ 15, මිචෙල් ස්වෙප්සන් නොදැවී 14, ජොස් හේසල්වුඩ් නොදැවී 13, ෂෙල්ඩන් කොට්ට්‍රල් 28/3, ඔන්ඩ්‍රි රසල් 43/3)

 

- 213

 


අදහස් (0)

පන්දු රකින්නෝ තරගය කණපිට හරවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.