Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්දු යවන්නෝ ලක්නව් පිලට ජය ගෙනෙති
අයි.පී.එල්.- 2022

පන්දු යවන්නෝ ලක්නව් පිලට ජය ගෙනෙති

editorial - 2022 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 42 වැනි තරගය ලෙස ලක්නව් සූපර් ජයන්ට්ස් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අතර පූනේහිදී අද (29 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 20 ජයක් වාර්තා කිරීමට ලක්නව් කණ්ඩායම සමත් විය. මේ දක්වා තරග 9 කට සහභාගි වී ඇති ලක්නව් කණ්ඩායම එහිදී ලැබූ 6 වැනි ජයග්‍රහණය මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 154 ක ඉලක්කයක් හඹාගිය පන්ජාබ් කණ්ඩායමට කෘනාල් පාණ්ඩ්‍යා ප්‍රමුඛ ලක්නව් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීීම හමු‍වේ ඕවර 20 අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 133 ක් පමණි. එහිදී පාණ්ඩ්‍යා නිලකුණු ඕවරයක් සමගම ඕවර 4 ක් යවමින් ලකුණු 11 කට කඩුලු 2 ක් බිඳහෙළුවේය.

පන්ජාබ් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහර කිරීම සඳහා පාණ්ඩ්‍යාට අනගි සහායක් දුන් මොෂීන් ඛාන් ලකුණු 24 කට කඩුලු 3 ක්ද, දුෂ්මන්ත චමීර ලකුණු 17 කට කඩුලු 2 ක්ද දවාගත්හ. පන්ජාබ් කණ්ඩා‍යමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ජොනී බෙයාස්ටෝ පන්දු 28 කදී හ‍තරේ පහර 5 ක් සමග ලකුණු 32 ක් රැස්කළ අතර නායක මායන්ක් අගර්වාල් පන්දු 17 කදී ලකුණු 25 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 153 ක් ලබාගත්තේය. පළමු කඩුල්ල ලකුණු 13 දී බිඳවැටුණද, දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 59 කදී ලකුණු 85 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමට ආරම්භක පිතිකරු ක්වින්ටින් ඩි’ කොක් (46) සහ දීපක් හූඩා (34) සමත් වූහ. පන්දු 37 කදී වාර්තා වූ ඩි’කොක්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 28 කදී වාර්තා වූ හූඩාගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහරකින් සමන්විත විය.

නායක ලෝකේෂ් රාහුල්ද (6) සහ මැද පෙළ පිතිකරුවන් තිදෙනෙක්ම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් පෙර දැවී යෑම ලක්නව් කණ්ඩායමට විශාල පාඩුවක් විය. එහෙත් හත්වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි දුෂ්මන්ත චමීර හයේ පහර 2 ක් සමග පන්දු 10 කදී ලකුණු 17 ක් රැස්කරමින් සිය කණ්ඩායම 150 සීමාව කරා ඇදගෙන ගියේය.

ලක්නව් සූපර් ජයන්ට්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 153
(ක්වින්ටන් ඩි’කොක් 46, දීපක් හූඩා 34, දුෂ්මන්ත චමීර 17, කගිසෝ රබාඩා 38/4, රාහුල් චාහර් 30/2)

පන්ජාබ් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 133

(මායන්ක් අගර්වාල් 25, ජොනී බෙයාස්‍ටෝ 32, ලයෑම් ලිවිංග්ස්ටන් 18, රිෂී ධවාන් නොදැවී 21, මොෂීන් ඛාන් 24/3, කෘනාල් පාණ්ඩ්‍යා 11/2, දුෂ්මන්ත චමීර 17/2)

 

-036

 


අදහස් (0)

පන්දු යවන්නෝ ලක්නව් පිලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.