Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්දු යවන්නෝ රාජස්ථාන් පිලට ජය‍ ගෙනෙති
අයි.පී.එල්.- 2022

පන්දු යවන්නෝ රාජස්ථාන් පිලට ජය‍ ගෙනෙති

editorial - 2022 අප්‍රේ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 39 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර පූනේහිදී අද (26 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 29 ක ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමග යළිත් වරක් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටද රාජස්ථාන් කණ්ඩායමට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 145 ක ඉලක්කයක් හඹාගිය බැංගලෝර් කණ්ඩායමට කුල්දීප් සෙන් ප්‍රමුඛ රාජස්ථාන් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 19.3 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 115 ක් පමණි. බැංගලෝර් ඉනිම සුනුවිසුණු කළ කුල්දීප් ලකුණු 20 කට කඩුලු 4 ක් දවාගත් අතර රවිචන්ද්‍රන් අෂ්වින් කඩුලු 3 ක්ද, ප්‍රසිද් ක්‍රිෂ්ණා කඩුලු 2 ක්ද දවාගනිමින් කුල්දීීප්ට අනගි සහායක් දුන්හ.

බැංගලෝර් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක ෆෆ් ඩුප්ලෙසී පන්දු 21 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 23 ක් රැස්කළ අතර වනිඳු හසරංග පන්දු 13 කින් ලකුණු 18 ක් රැස්කළේ හතරේ පමර 2 ක් සමගිනි. මෙම තරගයේදී ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කළ විරාට් කෝලි ලකුණු 9 ක් ලබා සිටියදී දැවී ගියේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 144 ක් ලබා ගත්තේය. සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී හුදෙකලා පිතිහරඹයක නිරත වූ රියාන් පරාග්, පන්දු 31 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 56 ක් රැස්කරමින් රාජස්ථාන් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. ලකුණු 33 ක් ලබා සිටියදී ජොෂ් හෙසල්වුඩ්ලේ පන්දුවක් හමුවේ දුන් උඩ පන්දුවක් වනිඳු හසරංග අතින් ගිළිහී යෑම හේතුවෙන් පරාග්ට තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව උදාවිය. 

නායක සංජු සැම්සන් පන්දු 21 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 27 ක් ලබා සිටියදී වනිඳු හසරංගගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. විස්සයි-20 තරග 6 කදී සැම්සන්ට එරෙහිව පන්දු 23 ක් යවා ඇති වනිඳු, එහිදී ඔහුව දවාගෙන ඇති වාර සංඛ්‍යාව 5 කි. එම තරගවලදී වනිඳුගේ පන්දු හමුවේ සැම්සන්ට ලබාගත හැකි වී ඇත්තේ ලකුණු 18 ක් පමණි. 

බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීම්හි නිරත වූ ජොෂ් හෙසල්වුඩ්, වනිඳු හසරංග සහ මොහොමඩ් සිරාජ් කඩුලු 2 බැගින් දවාගනිමින් රාජස්ථාන් පිතිකරුවන් පීඩනයට පත් කළහ. මෙවර තරගාවලියේදී ශතක 3 ක් ලබා සිටින ආරම්භක පිතිකරු ජොස් බට්ලර් මෙම තරගයේදී ලකුණු 8 කට පිටියෙන් ඉවත් කිරීමට හෙසල්වුඩ් සමත් විය.

 

රාජස්ථාන් රෝයල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 144
(රවිචන්ද්‍රන් අෂ්වින් 17, සංජු සැම්සන් 27 රියාන් පරාග් නොදැවී 56, ජොෂ් හෙසල්වුඩ් 19/2, වනිඳු හසරංග 23/2, මොහොමඩ් සිරාජ් 30/2)

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල - ඕවර 19.3 කදී සියලු දෙනා දැවී 115
(ෆෆ් ඩුප්ලෙසී 23, රාජත් පටීදාර 16, ශාබ්ස් අහමඩ් 17, වනිඳු හසරංග 18, කුල්දීප් සෙන් 20/4, රවිචන්ද්‍රන් අෂ්වින් 17/3, ප්‍රසිද් ක්‍රිෂ්ණා 23/2)

-036


අදහස් (0)

පන්දු යවන්නෝ රාජස්ථාන් පිලට ජය‍ ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.