Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්දු යවන්නෝ තරගාවලිය දිනති
ශ්‍රී ලංකා - සිම්බාබ්වේ එක්දින තරගාවලිය

පන්දු යවන්නෝ තරගාවලිය දිනති

editorial - 2022 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

දුෂ්මන්ත චමීර ලබාගත් විශිෂ්ට ආරම්භයෙන් පසුව ග්‍රහණය තව තවත් දැඩිකළ ජෙෆ්රි වැන්ඩසේ, මහීෂ් තීක්‍ෂණ සහ රමේෂ් මෙන්ඩිස් පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (21වැනිදා) පැවැති තුන්වැනි සහ අවසන් එක්දින තරගයේදී ලකුණු 184 ක දැවැන්ත ජයක් කරා ශ්‍රී ලංකා පිල කැඳවාගෙන ගියහ. ලකුණු 255 ක ඉලක්කයක් කරා ගිය සිම්බාබ්වේ කණ්ඩායම, ලකුණු 70 කට සීමාකළ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ එක්දින තරගාවලියේදී 2-1 ක ජයක් අත්කරගත්හ.
 
පන්දු යවන්නන් සිව් දෙනකුගේ ඉලක්කගත පන්දු යැවීමත්, කුසල් මෙන්ඩිස්ගේ අති විශිෂ්ට කඩුලු රැකීමත් නිසා ඕවර 24.4 ක් නිමාවේදී සිම්බාබ්වේ පිල ලකුණු 70 කට දැවී ගියේය. තරගයේ ගමන්මග වෙනස් කරන ලද්දේ පිට පිටම පන්දු දෙකකින් කඩුලු දෙකක් දවාගත් දුෂ්මන්ත චමීර විසිනි.

සිය දෙවැනි ඕවරයේදී පිට පිටම පන්දු දෙකකින් රෙගීස් චකබ්වා සහ නායක ක්‍රෙග් අර්වින් දවාගත් චමීර, නිලකුණු ඕවරයක් නිමා කරමින් ලකුණු පුවරුව කඩුලු 2 කට ලකුණු 03 ක් ලෙසින් වෙනස් කළේය. ඒ වන විටත් පන්දු යවමින් සිටි මහීෂ් තීක්‍ෂණ හමුවේ අන්දමන්දව සිටි ෂෝන් විලියම්ස්ගේ පිත්තත් පා අවරණයක් අතරින් රිංග ගිය පන්දුව කඩුල්ලට කඩා වදින අවස්ථාවේදී සිම්බාබ්වේ පිලේ සිටින වඩාත්ම පළපුරුදු පිතිකරුවා ලබා සිටියේ ලකුණු 6 කි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට තරමක් හෝ තර්ජනයක් වෙමින් සිටි තාකුඩ්ස්වනාෂේ කයිතානෝගේ ස්ටම්ප් කිරීම බොහෝ විට ඉදිරියේදී කුසල් මෙන්ඩිස්ව කඩුල්ල පිටුපසට සිරකිරීමේ තීරණාත්මක සාධකය වීමටද ඉඩ තිබේ. ක්‍රෙග් අර්වින් දවාගැනීමට රැකගත් උඩපන්දුවත්, කයිතානෝ ස්ටම්ප් කිරීමට හසුකරගැනීමත් අතරේ කුසල් මෙන්ඩිස් නම් කඩුලු රකින්නාගේ කතාව ලියැවී තිබේ. පරාජය වූ දෙවැනි එක්දින තරගයේදීත් කුසල් මෙන්ඩිස් එවැනිම ස්ටම්ප් කිරීම් දෙකකින් ෂෝන් විලියම්ස් සහ රෙගීස් චකබ්වා දවාගත්තේය.

සිය පළමු පන්දුවෙන්ම සිකන්දර් රාසා දවාගත් චාමික කරුණාරත්න මුලු ලකුණු සංඛ්‍යාව 31 ක් වතිබියදීම පස්වැනි කඩුල්ලත් බිම දැම්මේය. එතැන් සිට සිම්බාබ්වේ පිලට ගැලවීමක් නොවිණ.

ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 ක් නිමාවේදී කඩුලු 9  ක් දැවී ලකුණු 254 ක් ලබා ගත්තද එය ශ්‍රී ලංකා පිලේ අපේක්‍ෂිත ඉලක්කයට වඩා බෙහෙවින් අඩු මට්ටමක පැවතිණ. එහෙත් අද තරගය පැවැතියේ පළමු තරග දෙක පැවැති තණතීරුවේ නොවන බැවින්ද, අතිරේක දඟ පන්දු යවන්නකු කණ්ඩායමට එක්ව සිටි බැවින්ද සිම්බාබ්වේ පිලට තරගයක් දීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට තිබිණ.

පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා සාර්ථක අඩිතාලමක් දමා දුන් නමුත් 15 වැනි ඕවරයෙන් පසුව කඩුලු තුනක්ම බිඳ වැටීම හේතුවෙන් ලකුණු ගලාඒම අඩාළ විය. එතැන් සිට පීඩනය වැඩිකළ සිම්බාබ්වේ පන්දු යවන්නෝ 26 වැනි ඕවරයේ සිට 40 වැන්න දක්වා යැවුණු පන්දු 90 න් ලබාගැනීමට අවසර දුන්නේ ලකුණු 71 ක් පමණි.

මෙම ලකුණු 71 න් ලකුණු 42 ක් චරිත් අසලංකගේ නමට ඉදිරියෙන් සටහන් විය. තවමත් එක්දින තරග 11 කට පමණක් සහභාගි වී ඇති වමත් පිතිකරුවා ලබාගත් පස්වැනි අර්ධ ශතකය මෙයයි. පන්දු 56 කින් ලබාගත් ලකුණු 52 ට හතරේ පහර 5 ක් ඇතුළත් වූවා පමණක් නොව එම පිතිහරඹය ඔහුට තරගයේ වීරයා සම්මානයත් ගෙන ආවේය.

එක්දින තරගාවලියේ පළමු වතාවට කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයාගේ තීරණයට නිසි ප්‍රතිචාර දැක්වූ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා ඉනිමේ පළමු ඕවර 15 නිමාවන තුරුත් තම කඩුලු ආරක්‍ෂා කරගනිමින් ලකුණු 74 ක් පුවරුවට එකතු කළහ.

කුසල් මෙන්ඩිස් කිහිප අවස්ථාවකදීම දුවද්දී දැවී යාමට ගියද ඒ සෑම අවස්ථාවකදීම යන්තමින් සිය කඩුල්ල බේරා ගැනීමට සමත් වූයේය. එහෙත් අවදානම් ලකුණු ලබාගනිමින් සිම්බාබ්වේ පන්දු රකින්නන් පීඩනයට ලක්කිරීමටත්, ලකුණු පුවරුව ක්‍රියාත්මකව තැබීමටත් කුසල් පසුබට නොවීය. මේ අතරවාරයේදී පැතුම් නිස්සංක ඉතාමත් අලංකාර පහර කිහිපයකින්ම පන්දුව හතරේ සීමාවට යවමින් ලකුණු පුවරුවේ අංක කරකැවීය.

16 වැනි ඕවරයේ සිට ලකුණු වේගය වැඩිකිරීමට ගත් උත්සාහයේදී ආරම්භක පිතිකරුවෝ දෙදෙනාම දැවී ගියහ. වෙලිංන්ටන් මසකඩ්සා හමුවේ ‘ඉන්සයිඩ් අවුට්’ පහරක් ගැසීමට ගිය කුසල් මෙන්ඩිස්ගේ උඩපන්දුව ලෝන්ග් ඕෆ් ස්ථානයේ සිටි මුසරබානි රැකගත්තේය. වගකීම් සහගත පිතිහරඹයක නිරතව සිටි පැතුම් නිස්සංකගේ ඉනිම දුවද්දී දැවීයාමකින් නිමා වන විට දකුණත් ආරම්භක පිතිකරුවා පන්දු 66 කින් 6 ක් හතරේ සීමාවට යවා තිබිණ.

 

 


අදහස් (0)

පන්දු යවන්නෝ තරගාවලිය දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.