
(දමින්ද විජේසූරිය)
දිනේෂ් චන්දිමාල් (පන්දු 25 කින් ලකුණු 44) සහ නිරෝෂන් දික්වැල්ල (පන්දු 11 කින් ලකුණු 21) දෙදෙනා එක්ව එස්.එල්.සී. ග්‍රේස් (අළු) පිලට සාර්ථක අඩිතාලමක් දමා දුන්හ. ඒ මත සිටගනිමින් පසුපස නොබලාම ප්‍රහාරය කරගෙන ගිය නුවනිඳු ප්‍රනාන්දු (නොදැවී 50) සහ චරිත් අසලංක (45) දෙදෙනා, ශ්‍රී ලංකා විස්සයි-20 ලීග් තරගාවලියේ පස්වැනි තරගයේදී එස්.එල්.සී. ග්‍රේස් (අළු) කණ්ඩායම කඩුලු 6 ක ජයක් කරා කැඳවාගෙන ගියහ.
සිව්වැනි කඩුල්ල වෙනුවෙන් නුවනිඳු සහ අසලංක දෙදෙනාගේ සම්බන්ධතාව පන්දු පන්දු 51 කින් ලකුණු 89 කි.
කොළඹ එස්.එස්.සී. පිටියේදී අද (13 වැනිදා) පැවැති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් එස්.එල්.සී. බ්ලූස් (නිල්) කණ්ඩායම නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 6 කට ලකුණු 178 ක් ලබාගත්තේය. චරිත් අසලංක ප්‍රමුඛ ග්‍රේස් (අළු) ක්‍රීඩකයෝ ඕවර 17.1 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 179 ක් ලබාගත්හ.
කාසියේ වාසිය දිනාගත් එස්.එල්.සී. බ්ලූස් (නිල්) කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් අතර පැතුම් නිස්සංක (30) සහ විශේන් හැළඹගේ (32) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කින් ලකුණු 60 ක් එක් කළහ. නිස්සංක සහ හැළඹගේ දෙදෙනාම ලකුණු 12 ක් ඇතුළත දැවී යාමෙන් පසුව ලකුණු වේගය පහළ බැස්සේය. 14 වැනි ඕවරයේදී නිශාන් මධුෂ්ක (23) දැවී යන විට ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 5 ට 102 ක් ලෙසිනි.
තරගයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා යාමේ මං තීරු ඇහිරී තිබුණත් එතැනින් තරගයේ පාලනය අතට ගත් දසුන් ශානක (නොදැවී 35) සහ රවිඳු ප්‍රනාන්දු (41) දෙදෙනා එක්ව පන්දු 39 කින් ලකුණු 76 ක් බ්ලූස් (නිල්) කණ්ඩායමෙ පුවරුවට එකතු කළහ.
තරගයේ වාසිය අනෙක් අතට පෙරළුණේ දිනේෂ් චන්දිමාල් සහ නිරෝෂන් දික්වැල්ල දෙදෙනා කළ පිතිහරඹයෙනි. මේ දෙදෙනා එක්ව පන්දු 25 කින් (ඕවර 4.1) ලකුණු 55 ක් පුවරුවට එකතු කළ අතර චන්දිමාල් දැවී යන විටත් ලකුණු ලබාගැනීමේ වේගය ඕවරයකදී ලකුණු 10.00 ක් ඉක්මවා පැවතිණ. එතැන් සිට පසුපස නොබැලූ නුවනිඳු ප්‍රනාන්දු සහ චරිත් අසලංක දෙදෙනා මතීෂ පතිරණ සහ රවිඳු ප්‍රනාන්දු හමුවේ අනුකම්පා විරහිත පිතිහරඹයක නිරත වෙමින්, පන්දු 17 ක් ඉතිරිව තිබියදී තරගය අවසන් කළහ.
ග්‍රේස් පිලේ අවසන් ඕවර 7 දී ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 14, 9, 16, 10, 17, 10 සහ 13 ක් ලෙසිනි.
එස්.එල්.සී. බ්ලූස් (නිල්) කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 6 ට 178 යි
(පැතුම් නිස්සංක 30, විශේන් හැළඹගේ 32, නිශාන් මධුෂ්ක 23, දසුන් ශානක නොදැවී 35, රවිඳු ප්‍රනාන්දු 41, ගරුක සංකේත් 46/2)
එස්.එල්.සී. ග්‍රේස් (අළු) - ඕවර 17.1 කදී කඩුලු 4 ට 179 යි
(දිනේෂ් චන්දිමාල් 44, නිරෝෂන් දික්වැල්ල 21, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 50, චරිත් අසලංක 45, මතීෂ පතිරණ 32/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.