Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නිස්සංක විස්මිත පිතිහරඹයකින් ශ්‍රී ලංකාව ජය මාවතට ගෙනෙයි
1 වැනි එක්දින තරගය

නිස්සංක විස්මිත පිතිහරඹයකින් ශ්‍රී ලංකාව ජය මාවතට ගෙනෙයි

editorial - 2024 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ සිට)

ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල එක්දින ද්විත්ව ශතකය ලබාගත් පැතුම් නිස්සංක පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (9 වැනිදා) පැවැති පළමු එක්දින තරගයේදී තම කණ්ඩායම ලකුණු 42 ක ජයක් කරා කැඳවාගෙන ගියේය. ප්‍රමෝද් මධුෂාන්ගේ විශිෂ්ට පන්දු යැවීමෙන් ඇෆ්ඝනිස්ථානයේ මුල් පෙළ පිතිහරඹය කඩාවැටුණු හෙයින්, ශ්‍රී ලංකා කණ්ඩායම 1-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ අත්කරගත්තේය. 

නොදැවී ලකුණු 210 ක් ලබාගත් නිස්සංක ලකුණු 381 ක් කරා යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට පාර කපා දුන් නිස්සංක, පසුව ඇෆ්ඝනිස්ථානුවන්ගේ උඩපන්දු දෙකක් ද රැකගත් හෙයින් සංචාරකයන්ගේ පළමු කඩුලු 5 ම ලකුණු 55 කට බිඳ වැටිණ. අස්මතුල්ලා ඔමර්සායි (නොදැවී 149) සහ මොහොමඞ් නබී (136) එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 242 ක වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත්, නිස්සංක ඔවුන්ව ඇද දැමූ අගාධයෙන් ගොඩ ඒමට ඇෆ්ඝනිස්ථානුවෝ අසමත් වූහ. 

ශ්‍රී ලාංකික පිතිකරුවකු විසින් එක්දින තරගයකදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව, එහි පැරණි හිමිකරුවා වූ සනත් ජයසූරියගේ (වසර 2000 දී ඉන්දියාවට එරෙහිව සාජාහිදී 189 යි) දෑස් අබියසදීම බිඳ දැමූ පැතුම් නිස්සංක, එක්දින තරගයකදී ද්විත්ව ශතකයක් ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙසින් අද (09 වැනිදා) ක්‍රිකට් ඉතිහාසයට එක්විය. 

ශ්‍රී ලංකාවේදී පැවැති එක්දින තරගයකදී කණ්ඩායමක් රැස්කළ ලකුණු සංඛ්‍යාවන් අතුරින් මෙම ලකුණු 381 දෙවැනි වන්නේ 1996 දී ලෝක කුසලාන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම, කෙන්යානු පිලට එරෙහිව මහනුවරදී ලබාගත් ලකුණු 398 ට පමණි. 

පැතුම්ගේ මෙම ලකුණු 210, වසර 53 ක ලෝක එක්දින තරග ඉතිහාසයේ පිතිකරුවකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවන් අතර පස්වැනි තැනට පිවිසෙයි. විනාඩි 230 ක් පුරා පිතිහරඹයේ යෙදුණු දකුණත් පිතිකරුවා, එක්දින තරගයකදී ඕවර 50 පුරාම නොදැවී සිටි පිතිකරුවන් අතළොස්ස අතරට ද එක්විය. පන්දු 139 කට පමණක් මුහුණ දුන් පැතුම්ගේ ඉනිම හතරේ පහර 20 කින් සහ දැවැන්ත හයේ පහර 8 කින් සමන්විත විය. 

පල්ලෙකැළේ ක්‍රීඩාංගණයම, ඉහ මොළ දවන දාහයෙන් දැවෙන අවස්ථාවක, කාසියේ වාසිය දිනාගත් ඇෆ්ඝනිස්ථානු නායක හෂ්මතුල්ලා ශහිඩි, ඇදහිය නොහැකි තීරණයක් ගනිමින්, පන්දු යැවීම තෝරා ගත්තේය. කල්වේලා නොයාම තම තීරණයේ විපාක විඳීමට ඇෆ්ඝනිස්ථානු නායකයාට සිදුවිය. 

පළමු ඕවර 5 දී (ලකුණු 22) තරමක් තැන්පත්ව සිටි නිස්සංක සහ අවිශ්ක දෙදෙනා, වැඩ ඇල්ලූයේ අස්මතුල්ලා ඔමර්සායිගේ තුන්වැනි ඕවරයෙන් ලකුණු 10 ක් උදුරා ගනිමිනි. එතැන් සිට ලකුණු වේගය වැඩිකළ පිතිකරුවෝ දෙදෙනා, ප්‍රහාරාත්මක ඕවර 10 නිමා වන විට ලකුණු 90 ක් පුවරුවට එක්කළහ. 

දෙදෙනාගෙන් වඩාත් ප්‍රචණ්ඩ ආක්‍රමණිකයා නිස්සංක වූ නමුත් ඔහුගේ සෑම පහරකම තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාවේ සම්මත පිතිහරඹයයි. ලකුණු 167 ක් ලබා සිටියදී ගැසීමට උත්සාහ කළ රිවර්ස් ස්වීප් පහර වැරදී ගියේ නිස්සංක ඒ වන විට දැඩිව වෙහෙසට පත්ව සිටි බැවිනි. එහෙත් අනෙක් සියලුම පහර සියල්ලම, මැනවින් කාලය මනිමින් ගැසූ අලංකාර පහර විය. 

නිස්සංකට කදිම සහයෝගයක් දුන් අවිශ්ක පන්දු 88 කදී ලකුණු 88 ක් ලබාගත්තේ හතරේ පහර 8 කින් සහ හයේ පහර 3 කින් තම ඉනිම අලංකාර කරමිනි. දිගින් දිගටම අසාර්ථක වෙමින් සිටි අවිශ්කට අද තරගය මහත් අස්වැසිල්ලක් ද විය. 

කුසල් මෙන්ඩිස් දැවී යාමෙන් පසු පැමිණි සධීර සමරවික්‍රම සහ පැතුම් නිස්සංක එක්ව, පන්දු 71 කින්, තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ සම්බන්ධතාව 120 කි. 

සිය පළමු පන්දු 14 න් කඩුලු තුනක් දවාගත් ප්‍රමෝද් මධුෂාන්ගේ පන්දු යැවීම ඒ වන විට සටහන් වුයේ 2.2-0-02-3 ලෙසිනි. එතැන් සිට ඇෆ්ඝනිස්ථානු පිතිකරුවන් සිය ආධිපත්‍ය පතුරුවාලීමට පටන් ගත් නමුත් ලකුණු 297 දී හයවැනි කඩුල්ලේ සම්බන්ධතාව බිඳ දමන ලද්දේත් ප්‍රමෝද් මධුෂාන් විසිනි. 

ඔමර්සායි සහ නබී එක්ව ගොඩනැංවූ සම්බන්ධතාව, ඇෆ්ඝනිස්ථානු එක්දින ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැංවූ දෙවැනි හොඳම සම්බන්ධතාව ලෙසින් ද සටහන් විය. පන්දු යැවීමෙන් ද ඕවර 16 ක් බෙදාගත් ඔමර්සායි සහ මොහොමඞ් නබී දෙදෙනාගේම හොඳම එක්දින ඉනිම ලෙසින් ද ඒවා සටහන් විය. 

පැමිණ සිටි සීමිත නරඹන්නන් පිරිස අමන්දානන්දයට පත්කළ දෙපිලේම පිතිකරුවෝ, ඕවර 100 කින් ලකුණු 720 ක් ලබාගත්හ. එවන් තණතීරුවකදී, ධෛර්යවන්තව පන්දු යවමින්, ප්‍රමෝද් මධුෂාන් ලකුණු 75 කට කඩුලු 4 ක් දවාගැනීම පැසසිය යුතුය. 

 

(ඡායාරූප - ගයාන් අමරසේකර)


අදහස් (0)

නිස්සංක විස්මිත පිතිහරඹයකින් ශ්‍රී ලංකාව ජය මාවතට ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.