Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නවසීලන්තයට දැවැන්ත ජයක්

නවසීලන්තයට දැවැන්ත ජයක්

editorial - 2023 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තම දඟ පන්දු යවන්නන් දෙදෙනාගෙන් කිසිවකු පන්දු යැවීමට කැඳවන්නේ නැතිවම, වේග පන්දු යවන්නන් හතර දෙනකුගෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මට්ටු කළ නවසීලන්තය, ඕක්ලන්ඩ් නුවරදී අද (25 වැනිදා) පැවැති පළමු එක්දින තරගයේදී ලකුණු 198 ක දැවැන්ත ජයක් ලබාගත්තේය. පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය ලබාගත් ලකුණු 274 ට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා පිලට ඕවර 19.5 කදී ලබාගත හැකිවූයේ ලකුණු 76 ක් පමණි. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ සම්පූර්ණ ලකුණු පුවරුවම දුරකතන අංකයක් මෙන් දිස්විය. වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා වූ ඇන්ජලෝ මැතිව්ස්ටත් ලබාගත හැකිවූයේ ලකුණු 18 ක් වූ අතර පැය එක හමාරකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිහරඹය නිමා විය. 

අංක 7 පිතිකරුවා ලෙසින් පිටියට පැමිණීම ප්‍රතික්ෂේප කරමින් ධනංජය ද සිල්වා අද තරගයට ක්‍රීඩා නොකළේය. නවසීලන්ත කණ්ඩායම මෙම දැවැන්ත ජය ලබාගත්තේ ඔවුන්ගේ ඉදිරිපෙළ ක්‍රීඩකයන් 9 දෙනකුම අයි.පී.එල්. තරගාවලිය සඳහා ඉන්දියාවට ගොස් සිටියදී වීමත් විශේෂත්වයකි. 

නවසීලන්තය 3-0 කින් පරාජය කරමින් ලෝක කුසලාන තරගාවලියට එක එල්ලේම සුදුසුකම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තබා තිබූ බලාපොරොත්තු මෙම පරාජයත් සමගින් සේදී ගියේය. මේ වසරේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියට එක එල්ලේම සුදුසුකම් ලබාගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිරි තරග දෙකම ජයගත්තද, දකුණු අප්‍රිකාව සහ නෙදර්ලන්තය අතර ඇති තරග දෙකින් එකකදී දකුණු අප්‍රිකානුවන් පරාජය විය යුතුව තිබේ. 

ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන්කළ හෙන්රි ෂිප්ලේ ශ්‍රී ලංකා පිතිහරඹය කීතු කීතු කර ඉරා දමමින්, ලකුණු 31 කට කඩුලු 5 ක් දවාගත්තේය. මෙය ඔහුගේ සිව්වැනි එක්දින තරගය මෙන්ම හොඳම එක්දින පන්දු යැවීමද වෙයි. නවසීලන්ත පන්දු යවන්නකු එක්දින තරගයකදී කඩුලු 5 ක් දවාගත්තේ වසර 4 කට පසුවය. 

නායක දසුන් ශානක ද ඇතුළුව ඉදිරිපෙළ පිතිකරුවෝ පස් දෙනෙක්ම ලකුණු 31 ක් ඇතුතදී ආපසු ක්‍රීඩාගාරයට ගියහ. සංචාරකයන්ට එතැන් සිට හිස එසවීමක් නොවීය. ඉලක්කම් දෙකකින් ලිවිය හැකි ලකුණු සංඛ්‍යාවක් ලබාගත්තේ ඇන්ජලෝ මැතිව්ස් (18), චාමික කරුණාරත්න (10) සහ ළහිරු කුමාර (11) පමණි. 

ශ්‍රී ලංකා කණ්ඩායම මීට මාස දෙකකට ඉහතදීත් (ජනවාරි 15 වැනිදා) ඉන්දියාව හමුවේ ලකුණු 73 කට දැවී ගියේ ලකුණු 317 ක ජයක් ඉන්දියාවට තිළිණ කරමිනි. එය කණ්ඩායමක් එක්දින තරගයකදී අත්කරගත් විශාලතම පරාජය ලෙසින් ලෝක වාර්තා පොතට එක්විය. 

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් නමුත්, නවසීලන්ත පිතිකරුවෝ ලකුණු 274 ක් ලබාගත්හ. වනිඳු හසරංගට පිට පිටහ හයේ පහර දෙකක් ගැසූ ෆින් ඇලන් 18 වැනි ඕවරය නිමා වන විටම 100 වැනි ලකුණ නවසීලන්ත ලකුණු පුවරුවට එක් කළේය. එහෙත් ඉනිමේ පසු කොටසේදී ශ්‍රී ලංකා පන්දු යවන්නෝ දිගින් දිගටම කඩුලු දවාගත් අතර චාමික කරුණාරත්න  (43/4) සිය හොඳම එක්දින පන්දු යැවීම වාර්තා කළද එය ගඟේ ගිය උත්සාහයක් විය. 

තුන් ඉරියව් ක්‍රීඩකයකු වන රචින් රවීන්ද්‍ර සිය මංගල එක්දින තරගයේදීම පෙනි පෙනී තිබුණු අර්ධ ශතකය අහිමි කරගත්තේ ලකුණු 49 කට දැවී යාමෙනි. 

දෙවැනි එක්දින තරගය මාර්තු 28 වැනිදා ක්‍රයිස්ට්චර්ච් නුවරදී පැවැත්වෙයි. 

- 213


අදහස් (0)

නවසීලන්තයට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.