Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ධනංජයගේ දස්කම් යාපනයට ජය ගෙනෙයි
නැෂනල් සුපර් ලීග්

ධනංජයගේ දස්කම් යාපනයට ජය ගෙනෙයි

editorial - 2022 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘නැෂනල් සුපර් ලීග්’ එක්දින තරගාවලිය යටතේ කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ අද (24 වැනිදා) පැවැති තරගයකදී දඹුල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 176 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට යාපනය කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 256 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල කණ්ඩායමට නායක ධනංජය ද සිල්වා ප්‍රමුඛ යාපනය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 25.5 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 79 ක් පමණි.

එහිදී දඹුල්ල කණ්ඩායමේ පිතිකරුවන් 8 දෙනෙකුම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් මත්තෙන් පිටියෙන් ඉවත් කිරීමට යාපනය පන්දු යවන්නෝ සමත් වූහ. දඹුල්ල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නායක අෂාන් ප්‍රියන්ජන් පන්දු 42 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 32 ක් රැස්කළේය.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ධනංජය ද සිල්වා නිලකුණු ඕවර 2 ක් සමග ඕවර 4 ක් යවමින් ලකුණු 5 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත් විය. දඹුල්ල ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ධනංජයට අනගි සහායක් දුන් දිලුම් සුදීර, ජෙෆ්රි වැන්ඩසේ සහ ඉෂාන් ජයරත්න කඩුලු 2 බැගින් දවාගත්හ.

පළමුවෙන් පන්දුවට පහරදුන් යාපනය කණ්ඩායම ඕවර 47.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 255 ක් ලබා ගත්තේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ධනංජය ද සිල්වා පන්දු 64 කදී හතරේ පහර 10 ක් සමග ලකුණු 69 ක් රැස්කළ අතර සිවුවැනි කඩුල්ල වෙනුවෙන් සන්තුෂ් ගුනතිලක (33) සමග එක්ව පන්දු 71 කදී ලකුණු 81 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය.

පන්දු 34 කදී වාර්තා වූ සන්තුෂ්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය. ආරම්භක පිතිකරු සදීර සමරවික්‍රම පන්දු 41 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 40 ක්ද, ඉෂාන් ජයරත්න පන්දු 44 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 44 ක්ද රැස්කරමින් යාපනය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ විෂ්ව ප්‍රනාන්දු සහ ලක්ෂාන් සඳකැන් කඩුලු 3 බැගින් බිඳහෙළු අතර අනුක් ප්‍රනාන්දු, දුවිඳු තිලකරත්න සහ නුවන් තුෂාර අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.


යාපනය පිල - ඕවර 47.1 කදී සියලු දෙනා දැවී 255
(සදීර සමරවික්‍රම 40, ළහිරු තිරිමාන්න 28, ධනංජය ද සිල්වා 69, සන්තුෂ් ගුණතිලක 33, ඉෂාන් ජයරත්න 44, විෂ්ව ප්‍රනාන්දු 41/3, ලක්ෂාන් සඳකැන් 44/3)
 
දඹුල්ල පිල - ඕවර 25.5 කදී සියලු දෙනා දැවී 79
(අෂාන් ප්‍රියන්ජන් 32, ධනංජය ද සිල්වා 05/3, දිලුම් සුදීර 10/2, ජෙෆ්රි වැන්ඩසේ 12/2, ඉෂාන් ජයරත්න 22/2)

 


අදහස් (1)

ධනංජයගේ දස්කම් යාපනයට ජය ගෙනෙයි
  • ගගන Monday, 24 January 2022 07:40 PM

    ඇත්තටම මේ යාපන කණ්ඩායමට දමිල තරුණයින් සම්බන්ධ නොකරන්නේ ඇයි? මේක නිකන් චීන කණ්ඩායමේ ඔක්කෝම ඉන්නේ පාකිස්තානේ ක්‍රීඩකයින් වගේ අවුල් වැඩක්... ගියපාර LPL තරගාවලියේදී යාපනයෙන් ආපු හොඳ තරුණ දඟපන්දු යවන ක්‍රීඩකයෙක් හිටියා නේද? ඔහු ලංකාව අතහැරලා රට ගිහින්ද? මොලේ තියෙන කොල්ලෙක්...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.