Last Update  :  2025-08-03 20:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දෙපිලටම පෙනුණු ජය වැස්සට හේදෙයි

දෙපිලටම පෙනුණු ජය වැස්සට හේදෙයි

editorial - 2021 අගෝ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

එංගලන්තයට එරෙහිව ට්‍රෙන්ට්බ්‍රිජ්හිදී පැවැති පළමු ටෙස්ට් තරගය ජයගැනීම සඳහා ලකුණු 209 ක ඉලක්කයක් හඹායමින් සිටි ඉන්දීය කණ්ඩායමට වර්ෂාව හරස් විය. එහෙත් පැවැති තත්ත්වය අනුව එංගලන්තයටත් ජයග්‍රහණය ලබාගැනීමේ හොඳ අවස්ථාවක් නොතිබුණා නොවේ.  

ජයග්‍රහණය සඳහා තරගයේ අවසන් දිනය වූ අද (8 වැනිදා) ඉන්දීය පිලට තවත් ලකුණු 157 ක් අවශ්‍ය වූ නමුත් දිගින් දිගටම පැවැති වර්ෂාව හේතුවෙන් තේ පානයෙන් පසුව තරගය අතහැර දමන ලදි. අද උදෑසන සිටම තේ පානය දක්වා එකම පන්දුවක් හෝ යැවිය නොහැකි විය.

“තරගයේ පස්වැනි දවසේදී අපි හිතුවේ තරගය ජයගන්න අපට හොඳ අවස්ථාවක් තිබුණා කියායි. අපි හොඳින් පන්දුවට පහර දුන්නා. හොඳින් පන්දු යැව්වා. ඒත් අවසන් දිනය සම්පූර්ණ කරගන්න බැරිවුණ එක නම් මහ අවාසනාවක්” යයි ඉන්දීය නායක විරාට් කෝලි පැවසීය.

මුල් ඉනිමේදී ලකුණු 95 ක අවාසියකට මුහණ දුන් එංගලන්තය වෙනුවෙන්  දෙවැනි ඉනිමේදී විශිෂ්ට ශතකයක් ලබාගත් ජෝ රූට් තරගයේ වීරයා වශයෙන් සම්මාන දිනාගත්තේ මෙය කදිම තරගයක් බවට පත්කළේ ඔහු බැවිනි.

“එය කදිම ටෙස්ට් තරගයක්. ඒත් කාලගුණය අපේ අවස්ථාව නැතිකළා. වැස්සේ නැත්නම් ඒක හොඳ තරගයක් තිබුණ අවසන් දිනයක් වෙන්න තිබුණා” යයි තරගයේ වීරයා සම්මානය ලබාගැනීමෙන් පසුව ජෝ රූට් පැවසීය.

තරගයේ සිව්වැනි දිනය නිමා වන විට ඉන්දීය කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 52 ක් ලබා සිටියේය. එහෙත් එතැනින් තරගය නතර විය.

දිගින් දිගටම පැවැති වර්ෂාව හේතුවෙන් දිවා ආහාරයට පෙර එකම පන්දුවක් හෝ යැවිය නොහැකි වූ අතර දිවා ආහාරය වේලාසනින් ගත් නමුත් තේ පානය දක්වාම තරගය ආරම්භ කළ නොහැකි විය.  වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දින 4 දී අපතේ ගිය ඕවර සංඛ්‍යාවද 100 කට වැඩිය.

ටේ‍රන්ට්බි්‍රජ් ක්‍රීඩාංගණයට වරින් වර හිරු එළිය වැටෙතත් වර්ෂාව දිගින් දිගටම පැවතිණ.
නායක ජෝ රූට් ලබාගත් විශිෂ්ට ශතකය (109) හේතුවෙන් එංගලන්තය සිය දෙවැනි ඉනිමේදී ලකුණු 303 ක් ලබාගත් හෙයින් ඉන්දියානු පිතිකරුවන්ට ලකුණු 209 ක ඉලක්කයක් ලබිණ. වේග පන්දු යවන්නන්ට ඉතාමත් හිතකර තත්ත්වයන් යටතේ, එංගලන්ත පිතිකරුවන් පස් දෙනකු ලකුණු 64 කට ක්‍රීඩාගාරයට යැවූ ජස්ප්‍රීට් බුම්රා මෙම තරගයේදී ලකුණු 110 කට කඩුලු 9 ක් දවාගත්තේය.

ටෙස්ට් තරගයකදී ලකුණු 209 ක් යනු එතරම් විශාල අභියෝගයක් නොවන නමුත් මෙම තරගයේදී එය පහසු නොවන්නේ පිතිකරුවන්ට ලකුණු රැස්කිරීම විශාල අභියෝගයක් වන බැවිනි. එංගලන්තය දඟ පන්දු යවන්නකු නොමැතිව මෙම තරගයට ඉදිරිපත්ව සිටින අතර කණ්ඩායමේ වේග පන්දු යවන්නෝ 4 දෙනෙක් සිටිති.

ඉන්දියාව සහ එංගලන්තය අතර මේ වසර මුලදී ඉන්දියාවේදී පැවැති ටෙස්ට් තරගාවලියේදී ඉන්දිය කණ්ඩායම 3-1 ක තරගාවලි ජයක් වාර්තා කළේය.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ 2021-23 කාණ්ඩයේ පළමු තරගයද මෙයයි. තරගාවලිය ටෙස්ට් තරග 5 කින් සමන්විතය. තරගාවලියේ දෙවැනි තරගය ලබන බ්‍රහස්පතින්දා ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.


එංගලන්තය - පළමු ඉනිම 183 යි
ඉන්දියාව - පළමු ඉනිම 278 යි
එංගලන්තය - දෙවැනි ඉනිම 303 යි

(රෝරි බර්න්ස් 18, ඩොමිනික් සිබ්ලි 28, ජෝ රූට් 109, ජොනී බෙයාර්ස්ටෝ 30, ඩැනියෙල් ලෝරන්ස් 25, ජොස් බට්ලර් 17, ඔලී රොබින්සන් 15, ජස්ප්‍රීට් බුම්රා 64/5, මොහොමඩ් සිරාජ් 84/2, ශර්දුල් ඨාකූර් 37/2)
ඉන්දියාව - දෙවැනි ඉනිම කඩුලු 1 ට 52 යි
(ලෝකේෂ් රාහුල් 26, රෝහිත් ෂර්මා නොදැවී 12, චෙටේස්වාර් පුජාරා නොදැවී 12)

 

- 213

 


අදහස් (0)

දෙපිලටම පෙනුණු ජය වැස්සට හේදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.