Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
------------------------
දමින්ද විජේසූරිය
------------------------
දිමුත් කරුණාරත්න (118) සහ ළහිරු තිරිමාන්න (නොදැවී 131) දෙදෙනා එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් ගොඩ නැංවූ ලකුණු 209 ක අති විශිෂ්ට සම්බන්ධතාව නිසා කල් වේලා ඇතිවම බංග්ලාදේශය මෙල්ල කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. බංග්ලාදේශයට එරෙහිව පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල්ලක් පමණක් දැවී ලකුණු 291 ක් ලබා සිටියේය.
පැය හය හමාරකට පසුව තිරිමාන්න දවාගත්තේ යයි කළ ඉල්ලීමකට විනිසුරු කුමාර් ධර්මසේන මහතාගෙන් සාර්ථක ප්‍රතිචාර ලැබුණ නමුත් විතීවි ක්‍රමවේදයේ සහාය ඉල්ලා සිටි ආරම්භක පිතිකරුවා තමන්ගේ කඩුල්ල යන්තමින් රැකගත්තේය. ‘පන්දුවේ ගමන්මග නිර්ණය කරන්නා’ තාක්‍ෂණයෙන් තහවුරු වූයේ ෂොරිෆුල් ඉස්ලාම්ගේ පන්දුව කඩුල්ලට ඉහළින් ඇදී යන බවයි.
විනාඩි 384 ක් තිස්සේ පන්දු 253 කට මුහුණ දුන් ළහිරු තිරිමාන්න, හතරේ පහර 14 කින් සිය ඉනිම අලංකාර කරද්දී ඔහුට කදිම සහයෝගයක් දුන් ඕෂධ ප්‍රනාන්දු පන්දු 98 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 40 ක් ලබා සිටියේය. දිනයේ බිඳ වැටුණ එකම කඩුල්ල බංග්ලාදේශ කෝඩුකාරයා වන ෂොරිෆුල් ඉස්ලාම් සතු වූයේය.
දිවා ආහාරයට පෙර ලකුණු 66 ක් පුවරුවට එක්කළ දිමුත් සහ තිරිමාන්න දෙදෙනා ඊළඟ හෝරාවේදී ලකුණු 60 ක් කණ්ඩායමට එක්කළේ විනාඩියකට ලකුණක වේගයක් රඳවා ගනිමිනි. අවදානම් පහර ගැසීමට උත්සුක නොවූ නමුත් ලකුණු ලබාගත හැකි සෑම පන්දුවක්ම අපතේ නොහැරීමට දෙදෙනාම වගබලා ගත්හ.
අත්‍යලංකාර කවර් ඩ්‍රයිව් පහර කිහිපයකින්ම සිය ඉනිම සැරසූ දිමුත් කරුණාරත්න සිය පිට ඉන්න පැත්තෙන් වැඩි වැඩියෙන් ලකුණු ලබාගත්තේය. ඒ අතරවාරයේ ලැබෙන කෙටි පන්දු මිඩ් විකට් කලාපය හරහා හතරේ සීමාවට ගියේ බංග්ලාදේශ පන්දු රකින්නන්ට හැරෙන්නට වත් කාලයක් ඉතිරි නොකරමිනි.
දිගින් දිගටම එකම රේඛාවක පන්දු යවමින් සිටි තරුණ වේග පන්දු යවන්නා වූ ෂොරිෆුල් ඉස්ලාම්, සියුම් වෙනසකින් සිය මංගල ටෙස්ට් කඩුල්ල දවාගන්නා විට ශ්‍රී ලංකා නායකයා පන්දු 190 කින් 15 ක් හතරේ සීමාවෙන් එපිටට යවා තිබිණ. පැය හතර හමාරක පිතිහරඹයකට පසුව දිමුත් කරුණාරත්න දැවී ගියේ බැක්වර්ඩ් පොයින්ට් කලාපයෙන් පන්දුව තල්ලු කිරීමට ගත් උත්සාහයකදී ලිටන් දාස්ට උඩපන්දුවක් ලැබීමෙනි.
ලකුණු 79 ක් ලබාගැනීමත් සමගින් ටෙස්ට් ලකුණු 2000 කඩයිම පසුකළ ළහිරු තිරිමාන්න අද සිය තුන්වනි ටෙස්ට් ශතකය ලබාගත්තේය. මෙම වසර තුළදී ළහිරු තිරිමාන්න ලකුණු 50 ඉක්මවා ගිය පස්වැනි අවස්ථාව මෙය වන අතර මාස 4 ක් ඇතුළත ඔහු ලබාගත් දෙවැනි ටෙස්ට් ශතකයද මෙයයි. මේ වසරේ මාස 4 ක කාලය ඇතුළතදී තිරිමාන්න ලබාගත් ලකුණු සංඛ්‍යාව 648 කි. තිරිමාන්නගේ හොඳම ටෙස්ට් ඉනිම ලෙසින් සටහන් වන්නේද 2013 දී බංග්ලාදේශ පිලට එරෙහිව ගාල්ලේදී නොදැවී ලබාගත් ලකුණු 155 යි.
හෙට තරගයේ දෙවැනි දිනයයි. පෙරවරු 10.00 ට තරගය ආරම්භ වීමට නියමිතය. මේ වන විට පවතින කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් තරගය ප්‍රේක්‍ෂකයන්ගෙන් තොරව පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.