Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දසුන්ගේ පිලට ලකුණක තියුණු ජයක්

දසුන්ගේ පිලට ලකුණක තියුණු ජයක්

editorial - 2021 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(රොෂාන් ගුණරත්න)

දසුන් ශානකගේ (84) පිතිහරඹයත්, පුලින තරංගගේ (22/3) පන්දු යැවීමත් හමුවේ ආරාධිත විස්සයි20 තරගාවලිය ආරම්භ කරමින් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති පළමු තරගයේදී අෂාන් ප්‍රියංජන් නායකත්වය දරන ග්‍රීන්ස් පිලට එරෙහිව දසුන් ශානක නායකත්වය දරන ග්‍රේස් පිල ලකුණක තියුණු ජයක් හිමිකර ගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 168 ක ඉලක්කයක් හඹාගිය ග්‍රීන්ස් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 166 ක් පමණි. අවසන් ඕවරයේදී ග්‍රීන්ස් පිලට ජයග්‍රහණය සඳහා ලකුණු 17 ක් අවශ්‍යවූ නමුත් පන්දුවට පහරදෙමින් සිටි ඉෂාන් ජයරත්නට සහ සම්මු අශාන්ට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 15 ක් පමණි.

ලකුණු 5 කට කඩුලු 2 ක් දැවී යාමෙන් පසුව තෙවැනි කඩුල්ල සඳහා ශතක සම්බන්ධතාවයක් ගොඩනගමින් ග්‍රීන්ස් පිලේ ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම දැමීමට පැතුම් නිස්සංක සහ කමිඳු මෙන්ඩිස් සමත්වූහ. ඔවුන් දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 77 කදී ලකුණු 102 ක සම්බන්ධතාවයක් ගොඩනැඟූහ.

එහිදී වේගවත් පිතිහරඹයක නිරතවූ කමිඳු මෙන්ඩිස් පන්දු 48 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 74 ක් ලබාගත් අතර පැතුම් නිස්සංක පන්දු 36 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 45 ක් ලබාගත්තේය. අවසන් මොහොත් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට දැඩි උත්සහක් ගත් ඉෂාන් ජයරත්න පන්දු 10 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 20 ක් ලබාගැනීමට සමත්විය.

නායක දසුන් ශානක ඕවර 20 යැවීම සඳහා පන්දු යවන්නන් 7 දෙනෙකු උපයෝගී කරගත් අතර එහිදි පුලින තරංග සහ අශේන් ඩැනියෙල් ග්‍රේස් පිලට එරෙහිව පන්දුවෙන් දස්කම් දැක්වූහ. සිය ඕවර 4 ලකුණු 22 කට සීමාකළ පුලින තරංග අවශ්‍යම කඩුලු 3 ක් දවාගැනීමට සමත්විය. ඕවර 3 ක් පමණක් යැවූ අශේන් ඩැනියෙල් ලකුණු 22 කට කඩුලු 2 ක් දවාගනිමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණයට දායක විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ග්‍රේස් පිල ඕවර 20 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 167 ක් ලබාගතතේය. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක පන්දු 41 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 84 ක් රැස්කිරිමට සමත්විය.

ලකුණු 61 කට කඩුලු 4 ක් දැවී තිබියදී චතුරංග ද සිල්වා සමගින් 5 වැනි කඩුල්ල සඳහා එක්ව පන්දු 34 කදී ලකුණු 48 ක සම්බන්ධතාවයක්ද, පුලින තරංග සමගින් එක්ව 6 වැනි කඩුල්ල සඳහා පන්දු 27 කදී ලකුණු 56 ක සම්බන්ධතාවයක්ද ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දසුන් ශානක සමත්විය.

මිනෝද් භානුක පන්දු 20 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 21 ක් ද, චතුරංග ද සිල්වා පන්දු 21 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 23 ක් සහ පුලින තරංග පන්දු 16 කදී හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 16 ක් ද ලබාගැනීමට සමත්වූහ.

නායක අෂාන් ප්‍රියංජන් පන්දු යැවීම සඳහා පන්දු යවන්නන් 6 දෙනෙකු යොදාගත්තද බලාපොරොත්තුවූ ප්‍රතිඵල ඔවුන්ගෙන් නොලැබුණහ.


ග්‍රේස් පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 167
(මිනෝද් භානුක 21, දසුන් ශානක 84, චතුරංග ද සිල්වා 23, පුලින තරංග නොදැවී 16)

ග්‍රීන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 166
(පැතුම් නිස්සංක 45, කමිඳු මෙන්ඩිස් 74, ඉෂාන් ජයරත්න නොදැවී 20, අශේන් ඩැනියෙල් 23/2, පුලින තරංග 22/3)

 


අදහස් (0)

දසුන්ගේ පිලට ලකුණක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.