Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දසුන්ගේ උත්සාහය අපතේ යයි
ඉන්දීය සංචරය

දසුන්ගේ උත්සාහය අපතේ යයි

editorial - 2023 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 
 
විරාට් කෝලි ප්‍රමුඛ පිතිකරුවන්ගේ කැපී පෙනුණ දස්කම් හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව ගුවහටිහිදී අද (10 වැනිදා) පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 67 ක ජයක් වාර්තා කළ ඉන්දියාව, දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.  
 
ජයග්‍රහණය සඳහා ලකුණු 374 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 306 ක් පමණි. එහිදී සිය දෙවැනි එක්දින ශතකය ලබාගත් නායක දසුන් ශානක පන්දු 88 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 12 ක් සමග නොදැවී ලකුණු 108 ක් රැස්කළ නමුත් සහායට කිසිවකු නොසිටීම හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. 
 
ලකුණු 206 කට කඩුලු 8 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී කසුන් රාජිත (නොදැවී 9) සමග එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 73 කදී ලකුණු 100 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමටද දසුන් සමත් විය. එය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනකු එක්දින තරගයකදී 9 වැනි කඩුල්ල වෙනුවෙනු ගොඩනැගූ දෙවැනි හොඳම සම්බන්ධතාවද විය. කෙසේ වුවත් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට තරම් එම සම්බන්ධතාව ප්‍රමාණවත් නොවීය. 
 
එහිදී මුල් ලකුණු 20 රැස්කිරීම සඳහා පන්දු 34 ක් වැය කළ දසුන්, ක්‍රම ක්‍රමයෙන් ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කරමින් අර්ධ ශතකය පන්දු 50 කදීද, ශතකය පන්දු 87 කදීද සම්පූර්ණ කළේය. ශතකය කරා ගිය ගමනේදී දසුන් ලබාදුන් උඩ පන්දු 2 ක් රෝහිත් ශර්මා අතින්ද, එක් උඩ පන්දුවක් විරාට් කෝලි අතින්ද ගිළිහී ගියේය. එපමණක් නොව ශතකයට ලකුණු 2 ක් පසුපසින් සිටියදී මන්කාඩ් ක්‍රමයට දසුන් දවාගැනීමට අවසන් ඕවරය යැවූ මොහොමඩ් සාමි පියවර ගත්තද, නායක ශර්මාගේ මැදිහත්වීම මත එය ප්‍රතික්ෂේප කෙරිණ. 
 
ලකුණු 64 කට කඩුලු 3 ක් බිඳවැටීමෙන් අඩපණ වී තිබූ ශ්‍රී ලංකා ඉනිමට නව ජවයක් එක් කළ පැතුම් නිස්සංක (72) සහ ධනංජය ද සිල්වා (47) සිවුවැනි කඩුල්ල සඳහා පන්දු 65 කදී ලකුණු 72 ක් එක් කළහ. එහිදී පන්දු 80 කට මුහුණදුන් පැතුම්, හතරේ පහර 11 කින් සිය 5 වැනි එක්දින අර්ධ ශතකය සැරසූ අතර පන්දු 40 කදී වාර්තා වූ ධනංජයගේ ඉනිමට හතරේ පහර 9 ක් අන්තර්ඝත විය. 
 
පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව, විරාට් කෝලිගේ (113) අනර්ඝ පිතිහරඹය හමුවේ ඕවර 50 අවසන් වන විට කඩුලු 7 ක් දැවී ලකුණු 373 ක් ලබාගත්තේය. පන්දු 87 කදී වාර්තා වූ කෝලිගේ 45 වැනි එක්දින ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 12 කින් සමන්විත විය. ලකුණු 213 කට කඩුලු 3 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී ලෝකේෂ් රාහුල් (39) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 70 කදී ලකුණු 90 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද කෝලි සමත් විය. 
 
මෙය ශ්‍රී ලංකාවට එරෙහිව කෝලි ලබාගත් 9 වැනි එක්දින ශතකය වූ අතර එය එක් කණ්ඩායමකට එරෙහිව ක්‍රීඩකයකු ලබාගත් වැඩිම ශතක සංඛ්‍යාවේ වාර්තාව සම කිරීමක්ද විය. මින් පෙර සචින් ටෙන්ඩුල්ලකාර් ඕස්ටේ්‍රලියාවට ශතක 9 ක්ද, කෝලි බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ශතක 9 ක්ද ලබාගනිමින් එම වාර්තාව පිහිටුවා තිබිණ. 
 
තවද මෙම ශතකය සමගින් එක් රටක් තුළ ක්‍රීඩකයකු ලබාගත් වැඩිම ශතක සංඛ්‍යාවේ වාර්තාව සම කිරීමටද කෝලි සමත් විය. සචින් ටෙන්ඩුල්කාර් ඉන්දියාව තුළදී ශතක 20 ක් ලබාගනිමින් එම වාර්තාවට හිමිකම් කීවේය. කෙසේ වුවත් කෝලි ඉන්දියාව තුළදී එක්දින ශතකයක් ලබාගත්තේ වසර 3 කට පසුව වීමද කැපී පෙනෙන සිදුවීමක් බවට පත් විය. 
 
ඉන්දීය ඉනිමේ 37 වැනි සහ 43 වැනි ඕවරවලදී කසුන් රාජිතගේ පන්දු හමුවේ විරාට් කෝලි ලකුණු 52 ක් සහ 81 ක් බැගින් ලබා සිටියදී ලබාදුන් උඩ පන්දු දෙකක් කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අතින් සහ නායක දසුන් ශානක අතින් ගිළිහී යෑම හේතුවෙන් කෝලිට තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව උදාවිය. 
 
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ ආරාධනය පිළිගෙන පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ඉන්දීය ආරම්භක පිතිකරුවෝ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 118 කදී ලකුණු 143 ක සම්බන්ධතාවක් පැවැත්වූහ. එහිදී නායක රෝහිත් ශර්මා හයේ පහර 3 ක් සහ හතරේ පහර 9 ක් සමග පන්දු 67 කින් ලකුණු 83 ක්ද, ශුබ්මන් ගිල් හතරේ පහර 11 ක් සමග පන්දු 60 කින් ලකුණු 70 ක්ද රැස්කළහ.
 
ලකුණු පුවරුව 
 
ඉන්දියාව 
රෝහිත් ශර්මා - ප.මධුෂංක 83
ශුබ්මන් ගිල් - ක.මු. කළා ප.ශානක 70
විරාට් කෝලි - ඇ.මෙන්ඩිස් ප.රාජිත 113
ශ්‍රෙයාස් අයියර් - ඇ.අවිෂ්ක ප.ධනංජය 28
ලෝකේෂ් රාහුල් - ප.රාජිත 39
හර්දීක් පාණ්ඩ්‍යා - ඇ.හසරංග ප.රාජිත 14
අක්සර් පටේල් - ඇ.අවිෂ්ක ප.චාමික 9
මොහොමඩ් සාමි - නොදැවී 4
මොහොමඩ් සිරාජ් - නොදැවී 7
අතිරේක 6
එකතුව ඕවර 50 කදී කඩුලු 7 කට 373
 
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ : 
උම්රාන් මලික් සහ යුස්වේන්ද්‍ර චාහල් 
 
කඩුලු වැටීම : 
1-143(ගිල්), 2-173(ශර්මා), 3-213(අයියර්), 4-303(රාහුල්), 5-330(පාණ්ඩ්‍යා), 6-362(පටේල්), 7-364(කෝලි) 
 
පන්දු යැවීම : 
කසුන් රාජිත 10-0-88-3, දිල්ෂාන් මධුෂංක 6-0-43-1, වනිඳු හසරංග 10-0-67-0, චාමික කරුණාරත්න 8-0-54-1, දුනිත් වෙල්ලාලගේ 8-0-65-0, දසුන් ශානක 3-0-22-1, ධනංජය ද සිල්වා 5-0-33-1 
 
ශ්‍රී ලංකාව 
 
පැතුම් නිස්සංක - ඇ.පටේල් ප.මලික් 72
අවිෂ්ක ප්‍රනාන්දු - ඇ.පාණ්ඩ්‍යා ප.සිරාජ් 5
කුසල් මෙන්ඩිස් - ප.සිරාජ් 0
චරිත් අසලංක - ඇ.රාහුල් ප.මලික් 23
ධනංජය ද සිල්වා - ඇ.රාහුල් ප.සාමි 47
දසුන් ශානක - නොදැවී 108
වනිඳු හසරංග - ඇ.අයියර් ප.චාහල් 16
දුනිත් වෙල්ලාලගේ - ඇ.ගිල් ප.මලික් 0
චාමික කරුණාරත්න - ඇ.ශර්මා ප.පාණ්ඩ්‍යා 14
කසුන් රාජිත - නොදැවී 9
අතිරේක 12
එකතුව ඕවර 50 කදී කඩුලු 8 කට 306
 
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයා : 
දිල්ෂාන් මධුෂංක 
 
කඩුලු වැටීම : 
1-19(අවිෂ්ක), 2-23(මෙන්ඩිස්), 3-64(අසලංක), 4-136(ධනංජය), 5-161(නිස්සංක), 6-178(හසරංග), 7-179(වෙල්ලාලගේ), 8-206(චාමික) 
 
පන්දු යැවීම : 
මොහොමඩ් සාමි 9-0-67-1, මොහොමඩ් සිරාජ් 7-1-30-2, හර්දීක් පාණ්ඩ්‍යා 6-0-33-1, උම්රාන් මලික් 8-0-57-3, යුස්වේන්ද්‍ර චාහල් 10-0-58-1, අක්සර් පටේල් 10-0-58-0 
 

 


අදහස් (0)

දසුන්ගේ උත්සාහය අපතේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.