Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දසුන් අවසන් මොහොතේදී දිනුම රැකගනී
පළමු විස්සයි-20 තරගය

දසුන් අවසන් මොහොතේදී දිනුම රැකගනී

editorial - 2024 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මතීෂ පතිරණගේ පන්දු යැවීම හමුවේ ගිලිහී යන්නට තිබුණු ජයග්‍රහණය අවසන් ඕවරයේදී දැඩිව ග්‍රහණය කරගත් දසුන් ශානක බංග්ලාදේශයේ ශිලාත් නුවරදී අද (4 වැනිදා) පැවැති පළමු වැනි විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකාවට ලකුණු 03 ක ජයක් අත්කර දුන්නේය. අවසන් ඕවරය යැවීමට දසුන් ශානකව තෝරාගත් නායක අසලංක, එම ඕවරයේදී උඩපන්දු දෙකක්ම රැකගත් අතර දසුන් ශානක ශ්‍රී ලංකාවට දිනුම අත්කර දෙමින් තම ඕවරය ලකුණු 8 කට සීමාකර ගත්තේය. 

තරග 3 කින් සමන්විත තරගාවලියේදී ශ්‍රී ලංකාව 1-0 ක් ලෙසින් පෙරමුණ ගත්තේ මතීෂ පතිරණගේ පන්දු යැවීම සම්බන්ධයෙන් තවදුරටත් සිතීමට බොහෝ කාරණා ඉතිරි කරමිනි. 

ලකුණු 206 ක් අතේ තිබුණ නමුත් නිශ්චිත ඉලක්කයකට පන්දු යැවීමේ ප්‍රශ්නය තවමත් විසඳාගෙන නැති මතීෂ පතිරණ ප්‍රහාරාත්මක ඕවර 6 ඇතුළේ පන්දු යැවීම සඳහා තෝරා නොගැනීමට තරම් නායක චරිත් අසලංක බුද්ධිමත් විය. 9 වැනි ඕවරයේදී පන්දුව අතට ගත් මතීෂ පන්දු යැවීම ආරම්භ කළේත් සීමාවෙන් ඉවත ගිය පන්දුවකිනි. සිය මුල්ම ඕවරයේ සිටම පැයට කිලෝ මීටර 147 ඉක්මවූ වේගයකින් පන්දු යැවූ තරුණයා, බංග්ලාදේශ නායකයාගේ ඉනිම ලකුණු 20 කින් නිමා කළේය. 

කෙසේ වෙතත් මතීෂගේ දෙවැනි ඕවරය පන්දු 11 කින් සමන්විත විය. නිපන්දු 2 කින් සහ සීමාවෙන් ඉවත ගිය (වයිඞ්) පන්දු 3 කින් සමන්විත වූ දෙවැනි ඕවරයේදී මහමදුල්ලා සහ ජකාර් අලී ලකුණු 20 ක් මතීෂගෙන් උදුරා ගත්හ. ඕවර 4 ක් යැවූ මතීෂ සීමාවෙන් ඉවතට යැවූ (වයිඞ්) පන්දු සංඛ්‍යාව 10 කි. නිපන්දු සංඛ්‍යාව 2 කි. ඒවායින් ඔහු පිරිනැමූ ලකුණු සංඛ්‍යාව 19 කි. 

වඩාත් අවාසිදායක වූයේ පන්දු 24 ක් යැවිය යුතු වූ මතීෂ පතිරණ, අතිරේක ලකුණු 19 ක් පිරිනමමින් අතිරේක පන්දු 12 ක් ද යැවීමයි. වෙනත් ආකාරයකින් නම්, ශ්‍රී ලංකා පිතිකරුවන් ඕවර 20 කින් ලබාගත් ලකුණු 206 ලබාගැනීමට බංග්ලාදේශ පිතිකරුවන්ට ඕවර 22 ක් ලැබීමයි. 

10 වැනි ඕවරය නිමා වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 78 ක් ලබා සිටි බංග්ලාදේශ පිලට ජයග්‍රහණය වෙනුවෙන් අවසන් පන්දු 60 න් ලකුණු 129 ක් අවශ්‍යව තිබිණ. පතිරණගේ අත්වැරදීම් වලින් මනාව ප්‍රයෝජන ගත් බංග්ලාදේශීහු 19 වැනි ඕවරය නිමාවන විට ලකුණු 195 ක් පුවරුවට එක් කළේ අවසන් පන්දු 6 න් ලකුණු 12 ක් ලබාගැනීමට ඉතිරි කරමිනි. එහෙත් දසුන් එය ලකුණු 8 කට සීමාකර ගත්තේය. 

ශ්‍රී ලංකා ඉනිම අග්ගිස්සේ ඕවර 4 න් ලකුණු 64 ක් උදුරාගත් සධීර සමරවික්‍රම (නොදැවී 61) සහ චරිත් අසලංක (නොදැවී 44) දෙදෙනා කළ ප්‍රචණ්ඩ පිතිහරඹය හේතුවෙන් නියමිත ඕවර 20 නිමාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 206 ක් ලබාගත්තේය. 16 වැනි ඕවරය අවසානයේදී කඩුලු 3 කට ලකුණු 142 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම, එතැන් සිට පැවැති ඕවර 4 දී ලකුණු ලබාගත් ආකාරය සටහන් වූයේ 15, 14, 11 සහ 24 ක් ලෙසිනි. 

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දීමේ වාරය ශ්‍රී ලංකා පිලට පැවරීය. එහෙත් කුසල් මෙන්ඩිස්ගේ ප්‍රචණ්ඩකාරී පිතිහරඹය නිසා ශ්‍රී ලංකා පිල පළමු ඕවර 6 දී ලකුණු 42 ක් ලබාගත්තේය. පන්දු 28 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කරමින්, තම ආක්‍රමණය අත් නොහළ කුසල් මෙන්ඩිස් පන්දු 36 කදී ලබාගත් ලකුණු 59 හතරේ පහර 6 කින් සහ හයේ පහර 3 කින් සමන්විත විය. 

බංග්ලාදේශ පන්දු යවන්නන්ට රිදෙන්නම තැලූ මෙන්ඩිස් සහ සධීර සමරවික්‍රම දෙදෙනාගෙන් මෙන්ඩිස් 15 වැනි ඕවරයේදී දැවී යන විටත් පුවරුවේ ලකුණු 133 ක් සටහන් වී තිබිණ. 

එතැන් සිට ක්‍රියාත්මක වූ සධීර සහ තාවකාලික නායක චරිත් අසලංක අවසන් ඕවර 4 දී බංග්ලාදේශ පන්දු යවන්නන් අන්ද මන්ද කරමින් පන්දුවට පහර දෙන්නට වූහ. පන්දු 43 කින් සිය අර්ධ ශතකය කරා අවතීර්ණ වූ සධීර ස්ථාවර පිතිහරඹයක යෙදෙද්දී චරිත් අසලංක බංග්ලාදේශ පන්දු යවන්නන් හමුවේ කසය අතට ගත් වධකයාගේ භූමිකාවට පිවිසියේය. පන්දු 21 කින් නොදැවී ලකුණු 44 ක් ලබාගත් අසලංකගේ ඉනිම හයේ පහර 6 කින් අලංකාර විය. 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි විස්සයි-20 තරගය 6 වැනිදා (බදාදා) පැවැත්වෙයි. 

 


අදහස් (0)

දසුන් අවසන් මොහොතේදී දිනුම රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.