Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නන්ට මුහුණදීමට සූදානම් වීම සඳහා පැයට කිලෝ මීටර් 145 කට වැඩි වේගයකින් පන්දුව විසිකළ හැකි විශේෂඥ පන්දු විසිකරන්නන් දෙදෙනකු තම කණ්ඩායමට අවශ්‍ය බව දසුන් ශානක කියයි. සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින සහ විස්සයි20 ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා සීමත ඕවර කණ්ඩායමේ නායක දසුන් ශානක මේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.
“රබාඩා සහ නෝයේ වගේ පන්දු යවන්නන්ට මුහුණ දෙන්න නම් අපි පැයට කිලෝ මීටර් 145 කට වඩා වැඩි වේගයෙන් පැමිණෙන පන්දුවලට මුහුණදීලා පෙර සූදානමක් ලබාගන්න ඕන. ඒ නිසා ඒ වගේ වේගයකින් පන්දුව විසිකරන්න පුලුවන් පන්දු විසිකරන්නන් දෙදෙනෙක් අපට ලබා දෙන්න කියලා මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කළා” යැයි දසුන් ද සන්ඩේ ටයිම්ස් පුවත් පතට කියා සිටියේය.
“මේක අපිට හුඟක් වැදගත් තරගාවලියක්. ඒ නිසා අපි ඒකට අවශ්‍ය විධියට සූදානම් වෙන්න ඕන. දේශීය තරගවලදී අපි පැයට කිලෝ මීටර් 120 ත් 140 ත් අතර වේගයකින් පන්දු යවන මඳ වේග පන්දු යවන්නන්ට මුහුණදීලා තියෙනවා. ඒත් ජාත්‍යන්තර තරගවල තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්.“
“දැන් ගොඩක් වේග පන්දු යවන්නෝ ජාත්‍යන්තර තරගවලදී පැයට කිලෝ මීටර් 145 කට වඩා වැඩි වේගයකින් පන්දු යවනවා. අපිට කළ හැකි එකම දෙය පුහුණුවීම් වලදී එවැනි පන්දු යවන්නන්ට මුහුණදීමට සූදානම් වීම පමණයි. ඒ නිසයි මම ක්‍රිකට් ආයතනයෙන් එවැනි ඉල්ලීමක් කළේ.” යැයිද දසුන් වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රහාරාත්මක ඕවර වලදී මෙන්ම අවසන් ඕවරවලදී වේගයෙන් ලකුණු රැස්කළ හැකි පිතිකරුවන්ගේ අඩුවක් පවතින බවද, ලෝක කුසලාන තරගාවලියට පෙර කෙසේ හෝ එම අඩුව පුරාවාගත යුතු බවද දසුන් පවසයි. ඒ සඳහා පන්දු රකින්නන්ගේ හිසට ඉහළින් පන්දුව යැවීමට හැකි පිතිකරුවන් අවශ්‍ය වනවා මෙන්ම ‘රිවර්ස් ස්වීප්“ වැනි පහර ගැසීම සඳහාද පිතිකරුවන් මනා පුහුණුවක් ලබාගත යුතු බවද දසුන් අවධාරණය කරයි.
දසුන් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම මේ දිනවල දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි20 තරගාවලිය සඳහා පුහුණුවීම්වල නිරත වෙමින් සිටියි. එහිදී සිය කණ්ඩායමට වැඩි අවධනායක් යොමුකළ යුතු අංශ පිළිබඳව කණ්ඩායමේ පුහුණු කාර්යය මණ්ඩලය සමග දිගින් දිගටම සාකච්ඡා කළ බවද දසුන් වැඩි දුරටත් කියා සිටියේය.
“මම කළින් කිව්වා වගේ මේ තරගාවලි දෙකම අපිට ඉතාමත් වැදගත්. එක අතකින් එක්දින ලීගයේ ඉහළට ඇවිල්ලා 2023 ලෝක කුසලාන තරගාවලියට කෙලින්ම සුදුසුකම් ලබාගැනීමට අපිට මේ එක්දින තරගාවලිය වැදගත් වෙනවා. අනික් අතින් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීම සඳහා අපිට මේ විස්සයි20 තරගාවලිය වැදගත් වෙනවා.” යැයි දසුන් පැවසීය.
ඩේවිඩ් මිලර්, ක්වින්ටින් ඩි’කොක් සහ ලුංගි න්ගිඩි වැනි ප්‍රබල ක්‍රීඩකයන් එක්දින තරගාවලියට සහභාගි නොවීම ශ්‍රී ලංකා කණ්ඩායමට තරමක් වාසිදාක වුවත්, විස්සයි20 තරගාවලියේදී ඔවුන් යළිත් දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ එක්වීම එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පීඩනය වැඩි කරනු ඇත.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.