Last Update  :  2025-08-05 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දඩය වැඩිකරයි - තහනම අඩුකරයි

දඩය වැඩිකරයි - තහනම අඩුකරයි

editorial - 2021 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

 

එංගලන්තයේ චෙස්ටර් ලී ස්ට්‍රීට් නුවරදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජෛව බුබුල බිඳිමින් නගරයේ සැරිසැරීම සම්බන්ධයෙන් චෝදනාවන්ට වරදකරුවන් වූ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාට නිර්දේශ කළ රුපියල් ලක්‍ෂ 50 ක දඩය රුපියල් කෝටිය (මිලියන 10 ක්) දක්වා වැඩිකළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන් තිදෙනාටම නිර්දේශ කර තිබූ වසර දෙකක ක්‍රිකට් තහනම වසරක අන්තර්ජාතික තහනමක් දක්වා අඩුකර තිබේ. ඊට අමතරව ඔවුන් තිදෙනාටම පනවන ලද දේශීය ක්‍රිකට් තරග තහනම මාස 6 ක් දක්වා අඩුකර ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජෛව ආරක්‍ෂිත බුබුල බිඳීම ඇතුළු කණ්ඩායමේ විනය නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල වරදකරුවෝ වූහ. කොවිඩ් -19 ආරක්ෂක මාර්ගෝපදේශ බිඳ දැමීම සහ එම ක්‍රියාව මඟින් එම සංචාරයට සම්බන්ධ ක්‍රීඩකයින්ගේ, සෙසු සාමාජිකයින්ගේ සහ අනෙකුත් අයගේ ආරක්ෂාව අනතුරේ හෙළීම, කණ්ඩායම් කළමනාකාරීත්වයේ උපදෙස් සහ රෙගුලාසි උල්ලංඝනය කරමින් රාත්‍රී 10.30 වනවිට හෝටල් කාමරයේ නොසිටීම සහ එවැනි ක්‍රියා මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට හා රටට අපකීර්තියක් ගෙන ඒම යන චෝදනා යටතේ ඔවුන්ට මෙම දඩුවම් ලබාදී ඇත.

මෙම වසරක තහනම අවසන් වූ පසු, සෑම ක්‍රීඩකයෙකුටම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීම තවත් වසර දෙකක කාලයක් සඳහා ‘අත්හිටවූ තහනමකට’ යටත් කරනු ලැබේ. ඊට අමතරව ඔවුන් තිදෙනාම ක්‍රිකට් ආයතනය විසින් නිර්දේශ කරනු ලබන වෛද්‍යවරයෙකු යටතේ අනිවාර්ය උපදේශනය ලබාගත යුතුව ඇත.

ක්‍රීඩකයන් තිදෙනාට එරෙහිව තිබූ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ විශේෂ විමර්ශන කමිටුව විසින් නිර්දේශ කරන ලද දඩ සහ දඬුවම් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් සංශෝධනය කරනු ලැබ තිබේ.

මෙම විශේෂ විමර්ශන කමිටුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් යුතු විය. නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද, නීතිඥ අසේල රැකව, නීතිඥ උචිත වික්‍රමසිංහ සහ විශ්‍රාමික මේජර් ජනරාල් ආර්. ඩබ්ලිව්. ද සොයිසා මෙම විමර්ශන කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ.

විමර්ශන කමිටුවේ නිර්දේශය වූයේ ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් දෙදෙනාට වසර දෙකක ක්‍රිකට් තහනමක් පැනවීමයි. එහෙත් පෙර වැරදි නොතිබීම නිසා කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට වසර එක හමාරක තහනමක් නිර්දේශ කර තිබිණ. තිදෙනාම ඩොලර් 25,000 ක (ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් මිලියන 5 ක් හෙවත් ලක්‍ෂ 50 ඉක්මවන) දඩ මුදලකට යටත් කරන ලෙසද නිර්දේශ කරනු ලැබ තිබිණ.

කෙසේ වෙතත් එවන් දඬුවම් මගින් එක් එක් ක්‍රීඩකයන්ට ඇතිකරනු ලබන බලපෑම සහ ජාතික වශයෙන් ඔවුන් දක්වන දායකත්වය පිළිබඳව තවදුරටත් සලකා බලමින් එම ක්‍රීඩකයින් තිදෙනාට නිර්දේශ කරන ලද දඬුවම් සංශෝධනය කිරීමට අද රැස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ඒකමතිකව තීරණය කර ඇත.

- 213


අදහස් (2)

දඩය වැඩිකරයි - තහනම අඩුකරයි
  • Sk Friday, 30 July 2021 10:09 PM

    ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ඇති බලය අධිකරණයටවත් නෑ වගෙයි.

    Reply 0       0

    Sanath W A Sunday, 01 August 2021 02:44 PM

    අපරාදේ කමිටුවක් දාලා සල්ලි වියදම් කළේ... ක්‍රිකට් විධායක කමිටුව තිබ්බොත් ඔය තීරණය කලින් ගන්න මේ 03 දෙනා නැතිව කණ්ඩායම හොඳට යනවා.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.