Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු අප්‍රිකානුවෝ යළිත් ඉන්දියාව පරදවති
ඉන්දීය - දකුණු අප්‍රිකා 2 වැනි එක්දින තරගය

දකුණු අප්‍රිකානුවෝ යළිත් ඉන්දියාව පරදවති

editorial - 2022 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව බෝලන්ඩ් උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7 ක් ලැබූ දකුණු අප්‍රිකානුවෝ, දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජයගැනීමට සමත් වූහ. දෙරට අතර අවසන් එක්දින තරගය හෙට (23 වැනිදා) කේප් ටවුන්හිදී පැවැත්වේ.

ජයග්‍රහණය සඳහා ලකුණු 288 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දු 11 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. ඒඩ්න් මාක්‍රම් (නොදැවී 37) සහ රාසි වැන්ඩර් ඩසන් (නොදැවී 37) එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 75 කදී ලකුණු 74 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.

ක්වින්ටින් ඩි’කොක් (78) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 132 කදී ලකුණු 132 ක සම්බන්ධතාවක් ගොඩනැගූ යනෙමන් මලාන් (91), ඉන් නොනැවතී නායක ටෙම්බා බවුමා (35) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 76 කදී ලකුණු 80 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් දකුණු අප්‍රිකානු ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය.

එහිදී පන්දු 108 කට මුහුණදුන් මලාන් හයේ පහරකින් සහ හතරේ පහර 8 කින් සිය ඉනිම සැරසූ අතර ශතකය පෙනි පෙනී සිටියදී ජස්ප්‍රීට් බුම්රාගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියේය. පන්දු 66 කදී වාර්තා වූ ඩි’කොක්ගේ අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 7 කින් සමන්විත විය. පන්දු 36 කට මුහුණදුන් බවුමා ලකුණු රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි.  

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 287 ක් ලබාගත්තේය. ඉන්දීය ‍ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ රිෂාබ් පාන්ට් පන්දු 71 කදී ලකුණු 85 ක් රැස්‍කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 10 ක් සමගිනි. නායක ලෝකේෂ් රාහුල් (55) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 111 කදී ලකුණු 115 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද පාන්ට් සමත් විය.

ඉන්දීය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් රාහුල් පන්දු 79 කදී වාර්තා වූ සිය අර්ධ ශතකය හතරේ පහර 4 කින් සැරසුවේය. ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගයෙන් ලකුණු රැස්කළ ශර්ධුල් ඨාකුර් පන්දු 38 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 40 ක්ද, රවිචන්ද්‍රන් අෂ්වින් පන්දු 24 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ‍නොදැවී ලකුණු 25 ක්ද රැස්කළහ.

 

ඉන්දීය පිල - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 287
(ලෝකේෂ් රාහුල් 55, ශිකර් ධවාන් 29, රිෂාබ් පාන්ට් 85, වෙන්කටේෂ් අයියර් 22, ශර්ධුල් ඨාකුර් නොදැවී 40, රවිචන්ද්‍රන් අෂ්වින් නොදැවී 25, තබ්‍රේෂ් ශම්ෂි 57/2 )

දකුණු අප්‍රිකානු පිල - ඕවර 48.1 කදී කඩුලු 3 ක් දැවී 288
(යනෙමන් මලාන් 91, ක්වින්ටින් ඩි’කොක් 78, ටෙම්බා බවුමා 35, ඒඩ්න් මාක්‍රම් නොදැවී 37, රාසි වැන්ඩර් ඩසන් නොදැවී 37)

-036


අදහස් (0)

දකුණු අප්‍රිකානුවෝ යළිත් ඉන්දියාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.