ශ්‍රී ලංකා සංචාරයේ පළමු වරට රිසි සේ සිනාසුනු දකුණු අප්‍රිකානු කණ්ඩායම රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) පැවැති පළමු එක්දින තරගයේදී කඩුලු 5 ක පහසු ජයක් අත්කර ගත්තේය. ලකුණු 194 ක ඉලක්කයක් කරා ගිය දකුණු අප්‍රිකානුවෝ ඕවර 31 කදී කඩුලු 5 ක් දැවී සිය ඉලක්කය කරා අවතීර්ණ වූහ.
මෙම ජයග්‍රහණය නිසා දකුණු අප්‍රිකානු පිල තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේදී 1-0 ක් ලෙසින් පෙරමුණ ගෙන සිටී.
ඉලක්කය ඉතා පහසු වූවත් සන්සුන් ආරම්භයක් ගත් දකුණු අප්‍රිකානුවන් වෙත පිට පිටම යැවූ පන්දු දෙකකදී අකිල ධනංජය විසින් හසිම් අම්ලා සහ ඒඞ්න් මාක්රම් දවාගන්නා ලදි. එහෙත් පළපුරුදු පිතිකරුවන් වූ ක්වින්ටින් ඩි’කොක් (47) සහ නායක ෆෆ් ඩු ප්ලෙසි (47) තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 86 ක සම්බන්ධතාවක් ගොඩනංවමින් ජය මාවත හෙළි පෙහෙළි කර දුන්හ.
හතරේ පහර 6 ක් සහ හයේ පහර 2 ක් සමගින් පන්දු 32 කදී ලකුණු 53 ක් ලබාගත් ජේ. පී. ඩූමිනි ආපසු ක්‍රීඩාගාරයට ගියේ දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයටැඹ කරා ගෙනයාමෙන් පසුවය. සිය ඕවර 10 වේලාසනින්ම අහවර කළ අකිල ධනංජය ලකුණු 50 කට කඩුලු 3 ක් දවාගත් නමුත් එක්දින තරගයකදී ආරක්‍ෂා කරගැනීමට තරම් ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් ශ්‍රී ලංකා පිල සතුව නොතිබිණ.
ටෙස්ට් තරගාවලියේදී තමන් මුහුණ දුන් අත්දැකීම එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා පිතිකරුවන් වෙත බාර කළ දකුණු අප්‍රිකානුවෝ තරගයේ ඕවර 10 ක් ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හරි අඩක්ම ආපසු ක්‍රීඩාගාරයට යැවූහ. එවන් තත්ත්වයක සිටියදීත් පරෙස්සම සහමුලින්ම අමතක කර දැමූ කුසල් ජනිත් පෙරේරා (81) සහ තිසර පෙරේරා (49) හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 92 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම වැටී සිටි අගාධයෙන් ගොඩගත්හ.
පෙරේරලා දෙදෙනාගේ ධෛර්යවත් පිතිරහරඹයෙන් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් තරමක් ආරක්‍ෂාකාරී වූ නමුත් ශ්‍රී ලංකා ඉනිම පැවැතියේ ඕවර 34.3 ක් පමණි. එක් අවස්ථාවකදී කඩුලු 7 ක් දැවී ලකුණු 179 ක් ලබා සිටියද අවසන් කඩුලු තුනම ලකුණු 14 ක් තුළ දැවී යාම හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 193 දී නිමාවිය.
හොඳම ආරක්‍ෂාව ආක්‍රමණයම මිස අනෙකක් නොවේ යන්න මැනවින් සනාථ කළ තිසර පෙරේරා පිටියට පැමිණි මොහොතේ සිට තමා අබිමුවට එන සෑම පන්දු යවන්නකුටම පහර පිට පහර දුන්නේ දකුණු අප්‍රිකානු නායකයා විපිළිසර කරමිනි. එක දිගට ඕවර 11 යැවූ කගීසෝ රබාඩා සහ ලුන්ගි න්ගිඩි දෙදෙනා විවේක ගන්වමින් පන්දු යැවීමට පැමිණි වියාන් මල්ඩර් සහ ඇන්ඩිල් පෙලුක්වායෝ දෙදෙනාගේ ඕවර 6 න් ලකුණු 65 ක් උදුරා ගැනීමට පෙරේරලා සමත් වූහ.
දෙදෙනාගේ ප්‍රහාරයෙන් ගැලවීමට වෙනත් මඟක් සොයාගත නොහැකි වූ ෆෆ් ඩු ප්ලෙසී සිය චයිනමන් පන්දු යවන්නා වූ තබ්රේස් ශම්සි කැඳවූයේය. ශම්සිගේ පළමු පන්දුවම හතරේ සීමාව පසුකර යැවූ තිසර පෙරේරා තවත් එවැනිම පහරකින් සිය අර්ධ ශතකයට ආසන්න වූයේය. එහෙත් ලබාගැනීමට සියලු සුදුසුකම් තිබූ අගනා අර්ධ ශතකයක් තිසරගෙන් ගිළිහී ගියේ කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටින් ඩි කොක් රැකගත් උඩපන්දුවක් හේතුවෙනි.
ශම්සි සිය පළමු ඕවරයේදීම අවශ්‍ය දඩයම කරගන්නා විට පන්දු 30 කින් සිය ලකුණු 49 ලබාගත් තිසරගේ ඉනිමට හතරේ පහර 8 ක් ඇතුළත් වී තිබිණ. පෙරේරලා දෙදෙනා අතර පැවැති ලකුණු 92 ක සම්බන්ධතාව වෙනුවෙන් වැයවූයේ පන්දු 54 ක් හෙවත් ඕවර 9 ක් පමණි.
කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා පිල කරේ තබාගෙන ගිය පිතිකරුවා විය. අනෙක් අන්තයේ පිතිකරුවන් නොසිටි හෙයින්, ඉතිරිව තිබූ ඕවර සංඛ්‍යාව උපරිම වශයෙන් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කළ වමත් පිතිකරුවා, අකිල ධනංජය සහ ලක්ෂාන් සඳකැන් සමගින් එක්ව ලකුණු සංඛ්‍යාව 200 දෙසට තල්ලු කරන්නට විය.
තබ්රේස් ශම්සිගේ දඟ කැවීම ප්‍රයෝජනයට ගනිමින් මිඞ් විකට් හරහා පහර කිහිපයක්ම ගැසූ කුසල් ජනිත්ගේ පා ඉන්න දෙසින් පිහිටි කලාපය එහෙම පිටින්ම අවහිර කර තිබිණ. පිට ඉන්න පැත්තේ විවෘත පරතර කිහිපයක්ම තිබූ හෙයින් ඒ අතරින් පන්දුව හතරේ සීමාව කරා යැවීමේ අරමුණ ඇතිව ගැසූ රිවර්ස් ස්වීප් පහරකින් ඔහු දැවී ගියේය.
පොයින්ට් හි සිටි ඬේවිඞ් මිලර් විසින් අති දක්‍ෂ අයුරින් කුසල් ජනිත්ගේ උඩපන්දුව රැකගන්නා විට පන්දු 72 කට මුහුණ දුන් පිතිකරුවා හතරේ පහර 11 කින් සහ හයේ පහරකින් සිය ඉනිම අලංකාර කර තිබිණ.
අද උදෑසන තණතීරුවේ තිබූ පන්දුව දෝලනය වන සුළු ස්වභාවය හේතුවෙන් තරගයේ 10 වැනි ඕවරය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරුවන් පස් දෙනෙක්ම දැවී ගොස් තිබිණ. නිරෝෂන් දික්වැල්ල (2), කුසල් මෙන්ඩිස් (3), උපුල් තරංග (10), ෂෙහාන් ජයසූරිය (0) සහ නායක ඇන්ජලෝ මැතිව්ස් (5) දැවී ගිය පිතිකරුවෝ අතර වූහ.
ශ්‍රී ලංකා පිතිකරුවන්ට සිතන්නටවත් කාලයක් ඉතිරි නොකළ වේග පන්දු යවන්නන් වූ කගීසෝ රබාඩා (22/3) සහ ලුන්ගි න්ගිඩි (21/1) ඉබ්බන්කටුව වැව දෙසින් හමා එන සුළඟත් තණතීරුවේ පැවැති ස්වභාවයත් ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකා පිතිකරුවන් එකා පසුපස එකා ආපසු ක්‍රීඩාගාරයට යැවූයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට කළ තෝරා ගැනීම සම්බන්ධයෙන් නැවත සිතා බලන්න’යි බල කරමිනි.
ඡායාරූප - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.