Last Update  :  2024-03-18 18:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තේරීම් කමිටුව ගත් තීරණවල ප්‍රතිඵල දැන් ‍ලැබෙමින් තියෙනවා
ආසියානු කුසලාන

තේරීම් කමිටුව ගත් තීරණවල ප්‍රතිඵල දැන් ‍ලැබෙමින් තියෙනවා

editorial - 2022 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද ඩුබායි සිට..)

මීට වසර එකහමාරකට පෙර පත්වූ ක්‍රිකට් තේරීම් කමිටුව නවක ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම එකවර කණ්ඩායමට කැඳවීමට ගත් තීරණවල ප්‍රතිඵල මේ වන විට දක්නට ලැබෙමින් ඇති බව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න පවසයි. මේ වන විට කණ්ඩායමේ ස්ථාවර වී සිටින ක්‍රීඩකයන් අතරින් තමාද ඇතුළුව පැතුම් නිස්සංක සහ චරිත් අසලංක‍ වැනි ක්‍රීඩකයන්ටද කණ්ඩායමේ දොරටු විවර වූයේ තේරීම් කමිටුවේ එම තීරණ තුළින් යැයිද චාමික එහිදී කියා සිටියේය.

“අවුරුදු එකහමාරකට විතර කලින් කණ්ඩායමක් විදියට අපි එච්චරම හොඳ තත්ත්වයක නෙමෙයි හිටියෙ. ඒත් මේක (කණ්ඩයම) ගොඩගන්න ක්‍රීඩකයන් හුඟක් කැප කිරීම් කළා. ‍හුඟක් මහන්සි වුණා. ඒ වගේම කණ්ඩායම දැන් තියෙන තත්ත්වයට එන්න තේරීම් කමිටුව ඇවිත් කරපු වෙනස්කම් හුඟක්ම බලපෑවා. ඔවුන් තරුණ ක්‍රීඩකයන්ට ලොකු අවස්ථාවක් දුන්නා.”

“චරිත් අසලංක, පැතුම් නිස්සංක, ඒ ව‍ගේම මම. අවුරුදු එකහමාරකට කලින් අපි ‍මේ කොහෙවත් හිටියෙ නෑ. ඒ අවස්ථාව ලබා දුන්නට අපි ඔවුන්ට ස්තූති වන්ත වෙනවා. එයාලා අපි ගැන තියපු විශ්වාසය බිඳ වැටෙන්න අපි ඉඩ දුන්නේ නෑ. අපි කොහොම හරි දස්කම් දක්වලා ඒ අයගෙ විශ්වාසෙ රැකගත්තා. ඒවගෙ ප්‍රතිඵල දැන් පේන්න තියෙනවා.”

“වයස අතින් ගත්තාම අවුරුදු 25 ක වගේ සාමාන්‍යයක් තමයි අපේ කණ්ඩායමේ තියෙන්නෙ. අපිට දීර්ඝ කාලින සැලසුමක් තියෙනවා කොහොමද රට වෙනුවෙන් ක්‍රීඩා කරලා රටට ජයග්‍රහණ ගේන්නෙ කියලා. ආසියානු කුසලාන තරගාවලියෙදි ලබපු සාර්ථකත්වය එළබෙන ලෝක කුසලාන තරගාවලියටත් හොඳ විදියට බලපායි කියලා මම හිතනවා.” යැයිද එහිදී චාමික සඳහන් කෙළේය.

බංග්ලාදේශයට එරෙහිව 2021 වසරේ මැයි මාසයේදී එක්දින ජාත්‍යන්තර වරම් දිනාගත් චාමික, විස්සයි-20 ජාත්‍යන්තර වරම් දිනාගත්තේ එම වසරේම ජූලි මාසයේදී ඉන්දියාවට එරෙහිවය. එතැන් පටන් මේ දක්වා එක්දින තරග 18 කදී 34.18 ක සාමාන්‍යයක් රඳවාගනිමින් ලකුණු 376 ක් රැස්කර ඇති ඔහු එහිදී කඩුලු 16 ක් දවාගෙන ඇත්තේ 28.75 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි. විස්සයි-20 තරග 29 කදී ලකුණු 211 ක් රැස්කරමින් කඩුලු 15 ක් බිඳහෙළීමටද චාමික සමත්ව සිටියි.

මේ වන ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ උපනායකයා ලෙස කටයුුතු කරන චරිත් අසලංක එක්දින තරග 16 කදී ශතකයක් සහ අර්ධ ශතක 5 ක් සමග ලකුණු 659 ක්ද, විස්සයි-20 තරග 24 කදී අර්ධ ශතක 3 ක් සමග ලකුණු 530 ක්ද රැස්කිරීමට සමත්ව සිටියි. එක්දින තරගවලදී 43.93 ක ලකුණු රැස්කිරීමේ වේගයක් පවත්වාගෙන සිටින ඔහුගේ විස්සයි-20 තරගයක ලකුණු රැස්කිරීමේ වේගය සටහන් වන්නේ 24.09 ක් ලෙසිනි.

සීමිත ඕවර තරගවලිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කරන පැතුම් නිස්සංක,‍ මේ වන විට එක්දින තරග 17 කදී ශතකයක් සහ අර්ධ ශතක 3 ක් සමග ලකුණු 454 ක්ද, විස්සයි-20 තරග 27 කදී අර්ධ ශතක 6 ක් සමග ලකුණු 738 ක්ද රැස්කර ඇත. ‍අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම‍ ශ්‍රේණිගත කිරීම්වලට අනුව විස්සයි-20 පිතිකරුවන් අතර 8 වැනි ස්ථානයේ පසුවන්නේද පැතුම්ය. විස්සයි-20 තරගවලදී ඔහු රඳවාගෙන සිටින සාමාන්‍යය 28.28 කි.

ආසියානු කුසලාන තරගාවලියේ සමාරම්භක තරග‍යේදී ඇෆ්ඝනිස්ථානය හමුවේ ලකුණු 105 කට දැවී යමින් ලැබූ කඩුලු 8 පරාජයෙන් පසුව දෙස් විදෙස් මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම හෑල්ලුවට ලක්විය. එහෙත් ඒ මොහොතේදී කණ්ඩායම වෙත එල්ලවී තිබූ පීඩනය දරාගනිමින් යළිත් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට හැකි වූයේ කණ්ඩායමේ එකිනෙකා අතර තිබූ විශ්වාසය සහ අනයෝන්‍ය අවබෝධය නිසා බවද චාමික කියා සිටියේය.

“මාධ්‍යය කියන එකේ හොඳ සහ නරක දෙපැත්තම තියෙනවා. මාධ්‍යවල හොඳ දේවලුත් පළ වෙනවා. නරක දේවලුත් පළ වෙනවා. ඒවයින් හොඳ‍ දේවල් අපි හොඳ විදියට දකිනවා. නරක දේවල් දැක්කත් නොදැක්කා වගේ ඉන්නවා. අපිට ඒවට ප්‍රතිචාර දක්වන්න බෑ. මොකද මාධ්‍යයකින් ක්‍රීඩකයන් ඇති කරන්න වගේම නැති කරන්නත් පුළුවන්. ඒක තමා ඇත්තම කතාව.”

“හොඳම උදාහරණය තමයි අපේ කණ්ඩායමේ කුසල් මෙන්ඩිස්. ඔහුව සෑහෙන කාලයක් විවිධ මාධ්‍යය ඔස්සේ විවේචනයට ලක්වුණා. ඒත් දැන් පේනවා ඇති ඔහු ලෝ‍‍කයේ කතාබහට ලක්වෙන ක්‍රිඩකයෙක්. ඉතින් මාධ්‍යවලින් මොන විදියේ දේවල් කිව්වත් අපි ඒවට සැලෙන්නෙ නෑ. අපි මනසින් හුඟක් ශක්තිමත්. අපි කිසිම වෙලාවක මාධ්‍යත් එක්ක දුවන්නෙ නෑ. අපි දුවන්නෙ අපේ කණ්ඩායමත් එක්ක රට වෙනුවෙන්.”

“අපිට සහයෝගය දක්වන හැමෝටම අපි ස්තුති වන්ත වෙනවා. ඒ වගේම අපිව වට්ටන්න හදන අයට කියන්න ඕන එයාල වට්ටන හැම වෙලාවකම අපි නැඟිටිනවා. ඒක තමයි අපි මේ තරගාවලියේ පළමු තරගය පැරදුණ ගමන් කරලා පෙන්නුවෙ. ඒ වෙලාවෙත් හුඟක් අය අපිට හුඟක් දේවල් කිව්වා. ඒත් අපි ඒ දේවල් ශක්තියක් කරගෙන තරගාවලියේ අවසන් තරගය දක්වා ආවා. අපේ ගමන මෙතනින් නවතින්නේ නෑ. කණ්ඩාමක් විදියට අපි ඉදිරියටම යනවා.” යැයිද එහිදී චාමික පැවසීය.


අදහස් (0)

තේරීම් කමිටුව ගත් තීරණවල ප්‍රතිඵල දැන් ‍ලැබෙමින් තියෙනවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.