Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ සිට...)
අඟහරුවාදා විවාහ දිවියට පිළිපන් කුසල් ජනිත් පෙරේරා මධුසමය ගතකිරීමට යාම පසෙක තබා කණ්ඩායමට වෙනුවෙන් පිතිහරඹය සහ කඩුලු රැකීම තෝරා ගත්තේය. විවාහ දිවියට පසුදාම ඔහු කණ්ඩායමට එක්වූයේ සිය බිරිඳට ක්‍රීඩාගාරයේ අසුනක් වෙන්කර තබමිනි.
“විවාහ උත්සවය ඉවර උන ගමන්ම මම කොළඹ ආවා. ඇය වෛද්‍යවරියක්. අපි දෙදෙනා අතර සම්බන්ධතාව අවුරුදු 12 ක් විතර වෙනවා. ඒ නිසා අපට හොඳ වටහාගැනීමක් තියෙනවා. අනෙක ඇයත් ක්‍රිකට් ක්‍රීඩාවට ආදරෙයි” යයි පැවසූ කුසල් පෙරේරා....
“මම හිතන්නේ මගේ උත්සාහය ගැන එයා ගොඩාක් සතුටු වෙන්නැති. ඒත් අපට තරගය දිනන්න පුළුවන් වුණා නම් ඊටත් වඩා සතුටු වෙයි” යයි අලුත් මනමාලයා පල්ලෙකැළේ විස්සයි-20 තරගය ගැන පැවසීය.
තරගයෙන් ලකුණු 25 ක පරාජයක් ලැබූවත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේදී දැක්වූ අභීත ක්‍රීඩා විලාසය සහ සටන්කාමීත්වය ක්‍රීඩා ලෝලීන්ගේ හද බැඳගත්තේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට සටනක නිරත වූ කුසල් ජනිත් පෙරේරා පන්දු 38 කට මුහුණ දෙමින් හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් ද සමගින් ලකුණු 66 ක් ලබාගත්තේය.
“විස්සයි-20 තරගයකදී ලකුණු 200 ක් කියන්නේ ලබාගන්න පුළුවන් ඉලක්කයක්. අපේ පන්දු යවන්නන් ඔවුන් ලකුණු 200 ට අඩුවෙන් තිබ්බා. ඒත් තෝමස් අපේ ගමනට බාධා කළා.....කොහොම වුණත් අපි එයාව පාලනය කරගන්න ඕනා... එයාව යටත් කරගන්න ඕනා” යයි කුසල් පැවසීය.
ශ්‍රී ලංකා පිලේ විනාශකාරයා වූයේ ඔෂේන් තෝමස්ය. ඔහු සිය පළමුවැනි ඕවරයේදීම කඩුලු 3 ක් දවාගනිමින් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සියල්ලම සුළඟේ ගසා හැරියේය. ඔෂේන් වේගයෙන් පන්දු යැවූවත් ශ්‍රී ලංකා පිතිකරුවන් මුහුණ දුන් වේගවත්ම පන්දු යවන්නා ඔහු නොවේ. එහෙත් ප්‍රශ්නය තිබුණේ තෝමස් පල්ලෙකැළේදී උකහාගත් ඉපිළීමයි. එය ශ්‍රී ලංකා පිතිකරුවන් අපේක්‍ෂා කළ දෙයක් නොවීය.
තෝමස්ගේ පන්දු යැවීම හේතුවෙන් ඉනිමේ 6 වැනි ඕවරය නිමා වන විට ලකුණු 56 කට ශ්‍රී ලංකාවේ පිතිකරුවෝ පස්දෙනෙක්ම ආපසු ක්‍රීඩාගාරයට ගොස් සිටියහ. කෙසේ වෙතත් ලකුණු 171 ක් වෙනතුරු පැමිණි ශ්‍රී ලංකා පිල තරගය පරාජය වූවත් කදිම සටනක් දුන්නේය.
“අපට තරගය දිනන්නත් අවස්ථාවක් නොතිබුණාම නෙමේ. වනිඳුයි මමයි එක්වෙලා ලකුණු 150 ක් 160 ක් වෙනකම් ඇදගෙන ආවා. තිසරයි ඉසුරුයි එන්න ඉන්න හිටපු නිසා අපි දැනගෙන හිටියා අපි ඉන්නේ ජයග්‍රහණයෙන් පාර දෙක තුනක් මෑතින් කියලා... ඒත් එහෙම වුණේ නෑ...කොහොම වුණත් තවත් එක සම්බන්ධතාවක් හරියට හිටියා නම් අපට තරගය දිනන්න තිබුණා” යයිද කුසල් පෙරේරා පැවසීය.
“පරාජය වෙන්න බයවෙලා බෑ.. විස්සයි-20 තරගයක් දිනන්න නම් ආක්‍රමණයට සූදානම් වෙන්න ඕනා” යයි පැවසූ කුසල් ඉනිම ආරම්භයේදී තමන් පොට වරද්දාගත් බව පිළිගත්තේය.
“පල්ලෙකැළේදී දෙවැනි වර පන්දුවට පහර දෙන්න පහසුයි. ඒත් අපට ආරම්භයේදී වැරදුණා. ඒක අපි හදාගෙන ඕනා ඊළඟ තරගයට මුහුණ දෙන්න” යයිද ආරම්භක පිතිකරුවා පැවසීය.
එක්දින තරගාවලියේදී ක්‍රීඩා කළ කණ්ඩායම මෙන් නොව මෙම විස්සයි-20 තරගාවලියට නම්කර සිටින කොදෙව් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා රටාව බෙහෙවින්ම වෙනස්ය. යන්තම් හෝ අවස්ථාවක් ලැබුණු විගසම ඔව්හු ඉවක් බවක් නැතිව පහරදෙති. ඉතාමත් වැරෙන් පන්දුවට පහර දෙන, පාංශූ දේහධාරී ක්‍රීඩකයන් වන බැවින් ඉහළට ඉගිළෙන පන්දුව පතිත වන්නේ හතරේ සීමාවෙන් ඔබ්බෙහි මිස මෙපිට නොවේ. ඇතැම් අවස්ථාලදී වැරදෙන පහරකින් පවා පන්දුව හතරේ සීමාවට ඉහළින් යයි. ඔවුන්ගේ පහර දීම ඒ තරමට ජව සම්පන්නය.
එවන් අවස්ථාවකදී නිසි එල්ලයකින් පන්දු යැවීම අසීරු අභියෝගයකි.
වේග පන්දු යවන්නන් පහර පිට පහර කද්දී වනිඳු හසරංග පිටියේ ඈතට වී සිටියේය. ඔහු පන්දු යැවීම ආරම්භ කළ 13 වැනි ඕවරය වන විට කොදෙව්වෝ ලකුණු 105 ක් ලබා සිටියහ. එක්දින තරගයේදීත් වනිඳු හසරංග සාර්ථක පන්දු යැවීමක නිරත වූ බැවින් වනිඳු කලින් පන්දු යැවීමට කැඳවූවා නම් කොදෙව් පිතිකරුවන් මීට වඩා පාලනය කරගත හැකිව තිබුණු බවත් බොහෝ දෙනාගේ අදහස විය.
“එයා එක්දින තරගාවලියේදීත් හොඳින් පන්දු යැව්වා..සමහර විට නායකයා (ලසිත් මාලිංග) හිතන්නැති වනිඳුව අන්තිම ඕවර වලදී ප්‍රයෝජනයට ගන්න” යයි වනිඳුගේ පමාව පිළිබඳ කළ විමසීමේදී කුසල් ජනිත් කීවේය.
ඒ කෙසේ වෙතත් ශ්‍රී ලංකා නායකයා කිසිම ප්‍රයෝජනයක් නොගත් පන්දු යවන්නෝ දෙදෙනක්ද කණ්ඩායමේ සිටියහ. දසුන් ශානක සහ ෂෙහාන් ජයසූරිය තරගය පුරාම එකම පන්දුවක් හෝ නොයැවූහ.
ශ්‍රී ලංකාව සහ කොදෙව් පිල අතර දෙවැනි විස්සයි-20 තරගය හෙට (6 වැනිදා) පල්ලෙකැළේදී පැවැත්වේ. තරගය පස්වරු 7.00 ට ආරම්භ වේ.
ඡායාරූපය - චතුර එස්. කොඩිකාර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.