Last Update  :  2025-08-01 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඩේල් ස්ටේන් ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඩේල් ස්ටේන් ක්‍රිකට් පිටියෙන් සමුගනී

editorial - 2021 අගෝ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාවෙන් බිහිවූ විශිෂ්ටතම වේග පන්දු යවන්නකු වන ඩේල් ස්ටේන් සියලුම ආකාරයේ ක්‍රිකට් තරග වලින් සමුගැනීමට තීරණය කර තිබේ. වසර 2019 දී ටෙස්ට් පිටියෙන් සමුගත් ඩේල් ස්ටේන් පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේදී පැවැති එල්.පී.එල්. තරගාවලියටද සහභාගි වූයේය.

“මා ඉතාමත් ආදරය කරන ක්‍රීඩාවෙන් නිල වශයෙන් සමුගැනීමට මා අද තීරණය කළා. සමහර වෙලාවල කටුක අත්දැකීම් තිබුණත් ඒ ක්‍රීඩාවට මා ඉතාමත් කෘතවේදී වෙනවා“ යයි ඩේල් ස්ටේන් සිය ට්විටර් හසුරුවේ සටහන් කර තිබිණ.

“එය පුහුණුවීම්, තරග, සංචාර, ජය, පරාජය, ප්‍රීතිය සහ සහෝදරත්වය සමග ගෙවුණ වසර 20 ක්. ඒ තුළ අමතක නොවන සිදුවීම් රාශියක් තිබෙනවා. පවුලේ සාමාජිකයන්ගේ ඉඳන් සහෝදර ක්‍රීඩකයන්, මාධ්‍යවේදීන් සහ රසිකයන් දක්වා හැ‍මදෙනාටම ස්තූතියි. ඔබ සියලුම දෙනා සමග එකට පැමිණි මෙය මට ඇදහිය නොහැකි ගමනක්.” යැයි ස්ටේන් පැවසීය.

කිසියම් වේග පන්දු යවන්නකු, ඔහුගේ ප්‍රතිවාදීන් විසින් අගය කරනු ලැබුවේ නම් ඩේල් ස්ටේන් ඔවුන් අතර ඉදිරියේම වූයේය. ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් දෙදෙනකු වන පැට් කමින්ස් සහ රයාන් හැරිස් දෙදෙනාම පවසන පරිදි, නූතන අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේදී වේග පන්දු යවන්නන්ට නියමිත උසස් මට්ටම හඳුන්වා දෙන ලද්දේ ඩේල් ස්ටේන් විසිනි.

ස්ටේන් වසර 2008 සිට 2017 දක්වා ගෙවීගිය වසර 10 ක කාලයෙන් වසර 5 ක් අන්තර්ජාතික පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ අංක 1 ස්ථානයද තවත් වසර 3 ක් අංක 2 ස්ථානයද හිමිකරගෙන සිටියේය.

ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයකු මෙන්ම වර්තමානයේදී කීර්තිමත් පුහුණුකරුවකු වන මහේල ජයවර්ධන පවසන්නේ ස්ටේන් පිටියේදී මෙන්ම ඉන් පිටතදීත් ගුණයහපත් මිනිසකු වූ බවයි.

සීමිත ඕවර තරග කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම වෙනුවෙන් 2019 වසරේදී ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත් ස්ටේන්, අවසන් වරට ජාත්‍යන්තර තරගයකදී සිය ජාතික කණ්ඩායම නියෝජනය කළේ ඉකුත් වසරේ (2020) පෙබරවාරි මාසයේදීය. වසර ගණනාවක් පුරා විවිධ ආබාධවලින් පෙළුණ ඔහු, 2016 වසරේ ඕස්ට්‍රේලියානු සංචාරය අතරතුරදී ලක්වූ උ‍රහිසේ ආබාධය ඔහුගේ තරග දිවිය කෙටි කිරීමට බෙහෙවින්ම බලපෑවේය.

2019 වසරේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කරනු ලැබූ දකුණු අප්‍රිකානු සංචිතයේද සාමාජිකයකු වූ ස්ටේන්ට උරහිසේ ආබාධය හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියේ එක තරගයකට හෝ ක්‍රීඩා නොකරම එම තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය. ඉන් අනතුරුව විස්සයි20‍ ලෝක කුසලාන තරගාවලිය කෙරෙහි බලාපොරොත්තු තබා සිටි ඔහු, කොරෝනා වසංගතය හේතුවෙන් එය ඉකුත් වසරේ (2020) සිට මෙම වසර (2021) දක්වා කල් දැමීමත් සමග එම බලාපොරොත්තුවද අත්හැර දැමුවේය.

ඉන් අනතුරුව ඉන්දීය ප්‍රිමියර් ලීගය‍, පාකිස්තාන ප්‍රිමියර් ලීගය, කැරිබියන් ප්‍රිමියර් ලීගය සහ ලංකන් ප්‍රිමියර් ලීගය වැනි ලොව පුරා විස්සයි20 ලීග් තරගාවලි සඳහා සහභාගි වූ ස්ටේන්, ජාත්‍යන්තර තරග බිමෙන් සමුගැනීම ප්‍රකාශයට පත්කිරීමටත් පෙර මෙම වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන්ද ඉවත් විය.

ටෙස්ට් තරග 93 කදී එකකට ලකුණු 22.95 ක සාමාන්‍යක් රඳවාගනිමින් කඩුලු 493 ක් දවාගත් ස්ටේන්, ක්‍රීඩාවෙන් සමුගන්නා විට වැඩිම ටෙස්ට් කඩුලු ලාභීන් අතර 8 වැනි ස්ථානයේ පසුවිය. එක්දින තරග 125 කදී කඩුලු 196 ක් දවාගත් ස්ටේන්ගේ එක්දින කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය ලකුණු 25.95 කි. ස්ටේන් විස්සයි20 තරග 47 කදී කදී කඩුලු 64 ක් දවාගත්තේ 18.35 ක සාමාන්‍යක් රඳවාගනිමිනි.‍

 

-036


අදහස් (0)

ඩේල් ස්ටේන් ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.