Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඩැනියෙල්ට ශතකය අහිමිවෙයි

ඩැනියෙල්ට ශතකය අහිමිවෙයි

රොෂාන් ගුණරත්න - 2019 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ .ප්‍රිමා. කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී මධ්‍යම පළාත් කණ්ඩායමට එරෙහිව ලකුණු 46 ක ජයක් හිමිකර ගැනීමට බස්නාහිර පළාත් උතුර කණ්ඩායම අද (30 වැනිදා) සමත්විය. මෙම තරගය මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

කාසියේ වාසිය දිනූ මධ්‍යම පළාත් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා බස්නාහිර පළාත් උතුර කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 50 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 280 ක් රැස්කිරීමට ඔව්හු සමත්වූහ.

වේගවත් පිතිහරඹයක නිරත වෙමින් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ශෙනන් ඩැනියෙල් පන්දු 76 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 13 ක් සමගින් ලකුණු 99 ක් රැස්කර සිටියදී ඉතා අවාසනාවන්ත ලෙස උඩපන්දුවක් දෙමින් දැවී ගියේය. ශෙනන් ඩැනියෙල්ට අනගි සහයක් දුන් ආරම්භක පිතිකරු සහන් දාබරේ පන්දු 115 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 70 ක් රැස්කරමින් බස්නාහිර පළාත් උතුර කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්විය.

ශෙනන් ඩැනියෙල් සමගින් එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 143 කදී ලකුණු 140 ක සම්බන්ධාතවයක් ගොඩනැගූ සහන් දාබරේ ඉන් නොනැවතී හිරාන් ජයසුන්දර සමගින් එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 60 කදී ලකුණු 78 ක තවත් සම්බන්ධතාවයක් ගොඩනැගීය. හිරාන් ජයසුන්දර පන්දු 37 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගින් වේගවත් ලකුණු 42 ක් රැස්කිරීමට සමත්විය.

විභාවිත් ඇහැලේපොල, තෙනුක ඒකනායක සහ ළහිරු අබේසිංහ කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 281 ක ඉලක්කයක් හඹාගිය මධ්‍යම පළාත් කණ්ඩායමට ඕවර 50 අවසානයේදී කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 234 ක් පමණි.

අයි.ගලපිටගේ සහ අංජුල බණ්ඩාර අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වුවද සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට එය ප්‍රමාණවත් නොවීය. අයි.ගලපිටගේ පන්දු 106 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 63 ක් සහ අංජල බණ්ඩාර පන්දු 74 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 51 ක් රැස්කිරීමට සමත්විය. ටී.එස්.මැතිව් පන්දු 36 කදී හයේ පහර සහ හතරේ පහර 3 බැගින් එල්ල කරමින් නොදැවී ලකුණු 44 ක් රැස්කර ගත්තේය.

චමත් චාතුර්ය්‍ය, සෙනුක් සේරසිංහ සහ ශෙනන් ඩැනියෙල් කඩුලු 2 බැගින් දවාගනිමින් බස්නාහිර පළාත් උතුර කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

තවත් තරග 3 ක් පොලොන්නරුව රාජකීය විද්‍යාලය, රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ කටුනායක මේරියන්ස් යන ක්‍රීඩාංගණ වලදී පැවැත්විණ. එහිදී උතුරු පළාතට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායමත්, නැගෙනහිර පළාත් කණ්ඩායමට එරෙහිව කඩුලු 3 ක ජයක් හිමිකර ගැනීමට ඌව පළාත් කණ්ඩායමත්, බස්නාහිර දකුණ (පිටත) කණ්ඩායමට එරෙහිව ලකුණු 15 ක ජයක් හිමිකර ගැනීමට වයඹ පළාත් කණ්ඩායමත් සමත්විය.

බස්නාහිර දකුණ (පිටත) කණ්ඩායමට එරෙහිව ලකුණු 04 කට කඩුලු 5 ක් දවාගැනීමට වයඹ පළාත් කණ්ඩායමේ තිමිර ටිරාන් සමත්විය.

දකුණු පළාත් කණ්ඩායම සහ බස්නාහිර පළාත් උතුර (පිටත) කණ්ඩායම අතර තරගය බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදීත්, බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම සහ උතුරු මැද පළාත් කණ්ඩායම අතර තරගය සී.සී.සී. ක්‍රීඩාංගණයේදීත් ඊයේ පැවැත්වීමට නියමිතව තිබුණද පෙරදිනවල පැවැති වර්ෂාව හේතුවෙන් තරග පැවැත්වීමට සුදුසු තත්වයක ක්‍රීඩාංගණ නොතිබීම නිසා එම තරග අතහැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළහ.


බස්නාහිර උතුරට ලකුණු 46 ක ජයක්

බස්නාහිර උතුර - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 280
(ශෙනන් ඩැනියෙල් 99, සහන් දාබරේ 70, හිරාන් ජයසුන්දර 42, චමත් චාතූර්ය්‍ය 22, විබාවිත් ඇහැලේපොල 22/2, තෙනුක ඒකනායක 42/2, ළහිරු අබේසිංහ 50/2)
මධ්‍යම පළාත - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 234
(අයි.ගලපිටගේ 63, අංජල බණ්ඩාර 51, ටී.එස්.මැතිව් නොදැවී 44, චමත් චාතුර්ය්‍ය 34/2, සෙනුක් සේරසිංහ 35/2, ශෙනන් ඩැනියෙල් 46/2)


බස්නාහිර මධ්‍යම පිලට කඩුලු 5 ක ජයක්

උතුරු පළාත - ඕවර 32.3 කදී සියලු දෙනා දැවී ලකුණු 95
(කේ.සදේශන් 35, විහාස් සෙවුමික 08/2, යසිරු යුගත් 12/2, තේමිය ගුණරත්න 17/2)
බස්නාහිර පළාත් මධ්‍යම - ඕවර 11.3 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 96
(යුනෙත් සෙනෙවිරත්න 28, සහන් කෞෂල්‍ය 21, සිනෙත් ජයවර්ධන 20, වයි.විදූෂන් 05/2)


ඌව පළාතට කඩුලු 3 ක ජයක්

නැගෙනහිර පළාත - ඕවර 35.1 කදී සියලු දෙනා දැවී ලකුණු 94
(එස්.ඩිල්ශාන් 26, චානුක ධනංජය 16/3, මෙත්වින් රාජපක්ෂ 18/3)
ඌව පළාත - ඕවර 22.1 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 96
(එම්.තමීන් 21, නදුන් හේෂාන් 20, ජේ.නික්ලදර්ශන් 11/3, කවීෂ පියුමාල් 33/3)


වයඹ පළාතට ලකුණු 15 ක ජයක්

වයඹ පළාත - ඕවර 31.4 කදී සියලු දෙනා දැවී ලකුණු 151
(මෙනූෂ පෙරේරා 38, මෙත්මාල් ද සොයිසා 29, ගයාන් වීරසිංහ 25, විශ්ව ළහිරු 20/3, විදූශ නෙත්මික 28/3, නේතන් ලියනගේ 33/2)
බස්නාහිර දකුණ (පිටත) - ඕවර 27.2 කදී සියලු දෙනා දැවී ලකුණු 136
(දේශාන් දිල්මිත් 32, ජනිත් ධනංජය 28, යෙසිත් කළුපහණ 24, තිමිර ටිරාන් 04/5)

 


අදහස් (0)

ඩැනියෙල්ට ශතකය අහිමිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.