Last Update  :  2025-08-06 17:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට දොරටු වැහිලා නෑ

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට දොරටු වැහිලා නෑ

editorial - 2021 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට බංග්ලාදේශයට එරෙහිව පැවැති ද්විපාර්ශ්වික එක්දින තරගාවලියක් පරාජය වූ කණ්ඩායම ඉතිරිව ඇති එකම තරගය හෝ ජයගනිමින් තමන්ගේ නම්බුව රැකගැනීමේ උත්සාහයක නිරතව සිටී. ඒ සඳහා ඊයේත් අදත් (26 සහ 27) බංග්ලාදේශයේ ක්‍රීඩා ශික්ෂා ප්‍රතිස්ථාපන් මධ්‍යස්ථානයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පුහුණුවීම් කරමින් සිටියහ. 

තරගාවලියේ ඉතිරිව ඇති එකම තරගය ජයගනිමින් තරගාවලිය 2-1 ක් ලෙසින් අවසන් කරගැනීමට මාන බලන ශ්‍රී ලංකා කණ්ඩායමේ අනෙක් අපේක්‍ෂාව වන්නේ ලෝක කුසලාන සුපිරි ලීගය සඳහා ලකුණු 10 ක් වත් ලබාගැනීමයි. 

වසර 2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් තේරීමේ තරගාවලියේදී තරග 5 කින් 5 ම පරාජය වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එහි ප්‍රසාද ලකුණු පුවරුවේ අඩියටම හෙවත් 12 වැනි ස්ථානයට වැටී සිටී. ඉදින් හෙට පැවැත්වෙන තුන්වැනි තරගය ජයගත හැකිනම්, ප්‍රසාද ලකුණු 8 ක් (දඬුවම් ලකුණු 2 ක් අඩුවනු ඇත) හිමිකරගනිමින් යන්තම් ජාම බේරාගත හැකිය. 

මේ අතරවාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා පවසා සිටියේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට කණ්ඩායමේ දොරටු වැසී නැති බවත්, ඕනෑම අවස්ථාවකදී ඔවුන්ට නැවතත් කණ්ඩායමට එක්වීමේ අවස්ථාව තිබෙන බවත්ය. 

වසර 2023 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමින් තෝරා ගන්නා ලද යොවුන් ක්‍රීඩකයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා එක්දින සංචිතයෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ 6 දෙනකු ඉවත් කරන ලදි. හිටපු නායකයන් තිදෙනකු වන ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ දිමුත් කරුණාරත්න තිදෙනාටම කණ්ඩායමේ ස්ථාන අහිමි වූ අතර කණ්ඩායම තෝරා ගැනීමට දින කිහිපයක් තිබියදී තිසර පෙරේරා සහ උපුල් තරංග අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගත්හ. කෙසේ වෙතත් පළපුරුදු බංග්ලාදේශ කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා පිලට හිමිවූයේ පරාජයයි. 

“හළලා දානවා” කියන යෙදුම ටිකක් රිදෙනවා වැඩියි. ඒත් අපි බැලුවේ ඔවුන් නැතිව ඉදිරියට යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවාද කියලයි. ඒක හළලා දැමීමක් නෙමේ. ඔවුන්ට ඕනෑම අවස්ථාවක නැවතත් කණ්ඩායමට එකතු වෙන්න පුළුවන්” යයි ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා වාර්තාකරුවන්ට පැවසීය. 

“මැද පෙළ දිහා බැලුවොත් අපට යම් යම් අඩුපාඩු පෙනෙන්න පුළුවන්. ඒත් මෙතන ඉන්න කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල වගේම ධනංජය ද සිල්වාත් සෑහෙන එක්දින තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කරපු අය. මේ වගේ අය කෙරේ තමයි අපි විශ්වාසය තියලා තියෙන්නේ..... අපි කාටවත් දොරවල් වහලා නෑ... ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඕනම කෙනෙකුට, තමන්ගේ දස්කම් අනුව, නැවතත් කණ්ඩායමට එකතු වෙන්න පුළුවන්” යයිද මිකී ආතර් මහතා වැඩිදුරටත් කීවේය. 

කෙසේ වෙතත් පළමු එක්දින තරග දෙකේදීම ක්‍රීඩා නොකළ නිරෝෂන් දික්වැල්ල හෙට පැවැත්වෙන තුන්වැනි එක්දින තරගයේදී නැවත වරක් කඩුලු රැකීමේ අත්ආවරණ බාරගන්නා බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් මහතා කීවේය. අද සවස පැවැති පුවත් පත් සාකච්ඡාවේදී ඔහු ඒ  බව තහවුරු කර සිටියේය. 

නායකත්වයේ බර කරට ගැනීමත් සමගම කුසල් ජනිත් පෙරේරාගේ සුපුරුදු ප්‍රවේගකාරී පිතිහරඹය මඳකට පසුබා ගියේය. පළමු තරග දෙකේදීම පන්දු 65 කින් කුසල් පෙරේරාට ලබාගත හැකිවූයේ ලකුණු 44 ක් පමණි. මෙම තත්ත්වය අනුව නායකයාව කඩුලු රැකීමේ වගකීමෙන් නිදහස් කරමින්, නිරෝෂන් දික්වැල්ල එතැනට ගෙන ඒම පසුපෙළ පිතිහරඹය ශක්තිමත් කිරීමකි. විශේෂයෙන්ම වනිඳු හසරංග වැනි ක්‍රීඩකයකු අංක 7 හෝ 8 ස්ථානවල ක්‍රීඩා කිරීම දික්වැල්ලට මනා පිටිවහලක් වනු ඇත. 

“අපි උත්සාහ කරන්නේ අපේම කණ්ඩායම අතරේ කිසියම් තරගකාරීත්වයක් ඇතිකිරීමයි. සෑම ක්‍රීඩකයෙක්ම අනෙකාට තර්ජනයක් වෙන්න පුළුවන්. එමගින් ඔවුන්ගේ තරගකාරීත්වය වැඩි කරගනිමින් වඩාත් හොඳ ක්‍රීඩකයන් බවට පත්වෙන්න ඔවුන්ට පුළුවන්... ”
“අපි මේ කණ්ඩායම දියුණු කරන්න බලාගෙන ඉන්නේ 2023 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගෙනයි. අපි ඔවුන්ට විශ්වාසනීයත්වය දෙන්න ඕනා... ඒත් අනෙක් අතට අපි නිවැරදි මාවතට ඇතුළු වෙලා ඉන්න බව ඔප්පු කරන්න ඕනෑත් මේ ක්‍රීඩකයන්මයි” යයිද මිකී ආතර් මහතා පැවසීය. 

වනිඳු හසරංග යනු සුවිශේෂී ක්‍රීඩකයෙකි. ඕනෑම අවස්ථාවකදී පන්දුවෙන් බැරිනම් පිත්තෙන් හෝ, එසේත් නැතිනම් ඇදහිය නොහැකි පන්දු රැකීමකින් හෝ දෙකකින් තරගයේ දිශාව වෙනස්කර එය තම පිල වෙත හරවාගැනීමේ පුදුමාකාර හැකියාවක් ඔහුට තිබේ. එහෙත් ඔහු තවමත් ක්‍රීඩාව අධ්‍යයනය කරමින් සිටී. ඔහුට දිගු ගමනක් යා හැකිව තිබේ. 

පුදුමයකට මෙන් ශ්‍රී ලංකා පිතිකරුවෝ දඟ පන්දු යවන්නන් හමුවේ අමාරුවේ වැටී සිටිති. බංග්ලාදේශ දඟ පන්දු යවන්නන් දෙදෙනා වන මෙහෙදි හසන් මිරාස් (58/7) සහ සකිබ් අල් හසන් (82/3) තරග දෙකකදී කඩුලු 10 ක් බෙදාගෙන සිටිති. වඩාත්ම තීරණාත්මක සාධකය වන්නේ මෙම කඩුලු 10 ම ශ්‍රී ලංකා පිලේ ඉදිරිපෙළ පිතිකරුවන් වීමයි. 

“මේ විදිහට දඟ පන්දු යවන්නන් හමුවේ අසරණ වීම මට නම් අදහාගන්න අමාරුයි. පුහුණු දැළ තුළදී මා දකින පිතිකරුවා නෙමේ තරගයේදී ඉන්නේ... ” යයි කී මිකී ආතර් මහතා... 

“මොකක්ද මේකට හේතුව..? පීඩනයද?, අසාර්ථක වේවි යයි තියෙන බයද? ඒ මොකක් වුණත් ඒ දෙකම මනසෙන් අයින් කරන්න වෙනවා. මේ පිතිකරුවන් සියලු දෙනාම වාගේ ඉතාමත් හොඳ හැකියාවන් තිබෙන අය. විශේෂයෙන්ම දඟ පන්දු යවන්නන් හමුවේදී... ඒත් ඔවුන් තමන්ගේ තරම මේ තරගාවලියේදී නම් පෙන්වලා නෑ” යයිද කීවේය. 

ග්‍රාන්ට් ෆ්ලවර් මහතා කීවේ මෙම තරගාවලියේදී පළපුරුදු ක්‍රීඩකයන් අහිමි වීම විශාල ප්‍රශ්නයක් වී ඇතැයි පෙනෙන්නට තිබෙන බවයි. බංග්ලාදේශ ක්‍රීඩකයන් වන මුෂ්ෆිකුර් රහීම්, ටමීම් ඉක්බාල්, මෙහෙදි හසන් මෙන්ම සකිබ් අල් හසන්ගේ දායකයත්වය සමග එකට එක කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අසමත් වී තිබේ. එහෙත් කොළඹ නවතා ආ ක්‍රීඩකයන්ට එය තමන්ගේ ඉරණම යයි සිතීමට සිදුව තිබෙන බවද ඔහු පැවසීය. 

“ටිකෙන් ටික වයසට යනකොට ක්‍රීඩකයන්ගේ දස්කම් අඩුවෙනවා. ඒ නිසා වෙන්න ඇති.” යයි කී ග්‍රාන්ට් ෆ්ලවර් මහතා පිතිකරුවන්ගේ පුහුණුකරු හැටියට තමන්ටත් පීඩනය දැනෙන බවද කීවේය.  

කෙසේ වෙතත් මිකී ආතර් මහතා වඩාත් දුර බලන්නේය. 

“එක්දින ලෝක කුසලාන සුපිරි ලීගයේදී නොවැදගත් තරග නෑ... 2023 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගන්න නම් සෑම තරගයක්ම ප්‍රසාද ලකුණු 10 ක් වටිනවා. දැන් අපට ඕනෑ කරන්නේ සියල්ල මෙතැනින් අවසන් කරලා, හෙට තරගයේදී වඩාත් හොඳ තරගයක නිරත වීමයි. අපට ගෙදර යන්න ඉස්සරවෙලා දිනුමක් ඕනෑ කරනවා” යයිද මිකී ආතර් මහතා කීවේය. 

 


අදහස් (1)

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට දොරටු වැහිලා නෑ
  • Sk Saturday, 29 May 2021 12:24 PM

    ක්‍රිකට් නම් තවමත් පල්ලෙහාම තමයි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.