Last Update  :  2025-08-06 17:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජය පරාජයෙන් තොර නම් සම ශූරයෝ

ජය පරාජයෙන් තොර නම් සම ශූරයෝ

editorial - 2021 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන මස තුන්වැනි සතියේදී පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයේදී දෙපිලේ ලකුණු සංඛ්‍යාවන් සම වුවහොත් හෝ තරගය ජය පරාජයකින් තොරව අවසන් වුවහොත් ඉන්දියාව සහ නවසීලන්තය ඒකාබද්ධ ජයග්‍රාහකයන් වශයෙන් කිරුළු පළඳින බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කරයි. ටෙස්ට්  තරගයක් වන බැවින් මෙම තරගයේදී ලකුණු සමවුවහොත් හතරේ පහර සංඛ්‍යාව අනුව ජයග්‍රාහකයන් තීරණය නොකෙරෙනු ඇත.

එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැති 2019 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී දෙපිලේම ලකුණු සමවූ හෙයින් එය සුපිරි ඕවරය දක්වා ඇදී ගියේය. එහිදීද ලකුණු සමවූ හෙයින් දෙපිලේ හතරේ පහර සංඛ්‍යාව අනුව එංගලන්තය ජයග්‍රාහකයන් බවට තීරණය කෙරිණ.

“දෙපිලේ ලකුණු සංඛ්‍යාවන් සම වුවහොත් හෝ තරගය ජය පරාජයකින් තොරව අවසන් වුවහොත් ඉන්දියාව සහ නවසීලන්තය ඒකාබද්ධ ජයග්‍රාහකයන් වශයෙන් කිරුළු පළඳින බව තරගාවලියේ කොන්දේසි වලින් සනාථ වේ” යයි අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගය ජුනි 18 සිට 22 වැනිදා දක්වා එංගලන්තයේ සදම්ප්ටන් හිදී පැවැත්වේ. අවසන් මහා තරගය සඳහා ලෝ පුරා ජනප්‍රිය ‘කොකබුරා’ පන්දුව නොව, එංගලන්තයේ සාම්ප්‍රදායික පන්දුව වන ‘ඩියුක්’ පන්දුව භාවිතා කරන බවද අන්තර්ජාතික ක්‍රිකට් සභාව තහවුරු කරයි.

තරගය සඳහා අතිරේක දිනයක්ද වෙන්කර තිබේ. එහෙත් අතිරේක දිනයේදී තරගය පැවැත්වෙන්නේ නියමිත දින 5 දී අපතේ යන කාලය නැවත එකතුකරගත නොහැකි වුවහොත් පමණි.

“සම්පූර්ණ දින පහක ක්‍රීඩා කිරීමෙන් පසුවත් තරගයේ නිශ්චිත ප්‍රතිඵලයක් ලබා ගත නොහැකි නම් අමතර දිනයේ ක්‍රීඩා කිරීමක් සිදු නොවේ. එවැනි තත්වයක් තුළ තරගය ජය පරාජයෙන් තොරව නිමාවූ තරගයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ඇත” යයි ද අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිවේදනයකින් කියැවේ.

- 213

 


අදහස් (0)

ජය පරාජයෙන් තොර නම් සම ශූරයෝ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.