Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගේල් - ස්ටෝක්ස් - ස්ටාක් වෙන්දේසියට නෑ
අයි.පී.එල්. - 2022

ගේල් - ස්ටෝක්ස් - ස්ටාක් වෙන්දේසියට නෑ

editorial - 2022 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

22 වැනිදා (නවදිල්ලිය)

විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේ සුපිරි තරු ලෙසින් අවිවාදයෙන්ම හැඳින්වෙන බටහිර ඉන්දීය දූපත් සමූහයේ ක්‍රිස් ගේල්, එංගලන්තයේ බෙන් ස්ටෝක්ස් සහ ඕස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාක්, මේ වසරේදී පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට ඇතුළත් නොවෙති. ඉන්දියාවේ සහ ලොව පුරා රටවල් 18 ක ක්‍රිකට් ක්‍රීඩකයින් 1,200 කට අධික සංඛ්‍යාවක් පෙබරවාරි 12 සහ 13 යන දිනවල බැංගලෝර්හිදී පැවැත්වෙන අයි.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට ඇතුළත් වනු ඇත.

ලෝකයේ වඩාත්ම ලාභදායී ක්‍රිකට් තරඟාවලිය වන අයි.පී.එල්. තරගාවලියේ 15 වැනි අදියර සඳහා කණ්ඩායම් 10 ක් සහභාගි වෙති.

ගේල්, ස්ටෝක්ස් සහ ස්ටාක්ට අමතරව එංගලන්ත කණ්ඩායමේ දක්‍ෂතම ක්‍රීඩකයන් වන ජොෆ්රා ආචර්, ක්‍රිස් වෝක්ස් සහ සෑම් කරන් ද 2022 අයි.පී.එල්. තරගාවලියට ඉදිරිපත් නොවන බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.

වෙන්දේසිය සඳහා ක්‍රීඩකයන් 1214 දෙනකු ඉදිරිපත්ව සිටින අතර ඔවුන්ගේන් 896 ක් ඉන්දියානුවෝ වෙති. 318 ක් විදේශීය ක්‍රීඩකයෝය. ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෝ 36 දෙනෙක්ද අයි.පී.එල්. වෙන්දේසියට ඉදිරිපත්ව සිටිති.

නව කණ්ඩායම් දෙකක් වන අහමදාබාද් සහ ලක්නව් අයි.පී.එල්. තරගාවලියට එකතු වීමෙන් පසු කණ්ඩායම් 10 ක් මෙවර වෙන්දේසිය සඳහා ලංසු තබනු ඇත.

ඉන්දීය ආරම්භක පිතිකරු කේ.එල්. (ලෝකේෂ්) රාහුල්, තරඟාවලි ඉතිහාසයේ, වැඩිම වැටුප් ලබන ක්‍රීඩකයා ලෙස ලක්නව් කණ්ඩායමේ නායකත්වයට පත්ව සිටී. ඔහුගේ වැටුප ඉන්දීය රුපියල් මිලියන 170 ක් හෙවත් ඩොලර් මිලියන 2.3 ක් පමණ වෙයි. හිටපු ඉන්දීය නායක විරාට් කෝලි 2018 වසරේදී ඉන්දීය රුපියල් මිලියන 170 කට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් මිලදී ගන්නා ලදි.

“ලෝකේෂ්ගේ පිතිහරඹය පමණක් නෙමේ, කඩුලු රැකීමේ හැකියාවන් සහ ඔහුගේ නායකත්ව හැකියාවන් ගැන මම බෙහෙවින් පැහැදී සිටිනවා” යයි ලක්නව් කණ්ඩායමේ හිමිකරු සංජීව් ගොඑන්කා ස්ටාර් ස්පෝට්ස් වෙත පැවසීය.

ගෝලීය පුද්ගලික කොටස් සමාගම් අතරේ දැවැන්ත සමාගමක් වන සී.වී.සී. කැපිටල් සමාගම විසින් අහමදාබාද් කණ්ඩායම මිලදීගෙන තිබේ. එහි නායකයා ලෙස ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා තෝරාගනු ලැබ ඇත.

මේ අතර ඇෆ්ගනිස්ථානයේ සුපිරි පා දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් ඉන්දීය රුපියල් මිලියන 150 කටද (ඩොලර් මිලියන 2.1කට) සහ යොවුන් ඉන්දීය පිතිකරු ශුබ්මන් ගිල් ඉන්දීය රුපියල් මිලියන 80 කටද මිලදී ගැනීමට අහමදාබාද් කණ්ඩායම් හිමිකරු තීරණය කර තිබේ.

වසර 2011 දී ඉන්දියාවට ලෝක කුසලාන දිනා දුන් පුහුණුකරුවා වන දකුණු අප්‍රිකාවේ හිටපු ආරම්භක  පිතිකරු ගැරී කර්ස්ටන් අහමදාබාද් කණ්ඩායමේ උපදේශකවරයා ලෙසින් පත්කර ඇත.

“මම හිතන්නේ ඔහු ඇත්තටම ඇතුළට පැමිණ සැලැස්මක් සකස් කර නායකයෙකු ලෙස ක්‍රීඩාවේ මෙම මට්ටමේ ඔහුට කළ හැකි දේ පෙන්වීමට පෙළඹෙනු ඇත,” යයි හර්දික් පාණ්ඩ්‍යා සම්බන්ධයෙන් කර්ස්ටන් පැවසීය.

කොරෝනා වසිරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ නව ආසාදිතයින් වැඩිවීමත් සමඟ, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තවමත් අයි.පී,එල්. තරගාවලිය පැවැත්වෙන්නේ කවදාද, කොතැනදීද යන්න තහවුරු කර නොමැත. තහවුරු නොකරන වාර්තා වලින් සඳහන් වන්නේ එය මුම්බායිහිදී පැවැත්වෙන බවයි.

එහි අවසන් අදියර ඉන්දියාවේදී පැවැති නමුත් 2021 මැයි මාසයේදී කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාම නිසා එය අත්හිටුවන ලදි. පසුව එහි දෙවැනි කොටස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සම්පූර්ණ කරන ලදී.


- 213

 


අදහස් (0)

ගේල් - ස්ටෝක්ස් - ස්ටාක් වෙන්දේසියට නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.