Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගල් නෙමේ මල් අරන් එන්න

ගල් නෙමේ මල් අරන් එන්න

රොෂාන් ගුණරත්න - 2017 අගෝ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පල්ලෙකැළේදී පැවැති තුන්වැනි එක්දින තරගය අවසාන වීමට ඔන්න මෙන්න කියා තිබියදී ක්‍රීඩාංගණය තුළට බෝතල විසිකිරීමෙන් කණ්ඩායමට අප්‍රසාදය දැක්වීම බොහෝ දෙනාගේ විවේචනයට හේතු වී තිබේ. ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ කිහිප දෙනකුගෙන් ඒ පිළිබඳව කළ විමසීමකදී ඔවුන් දැක්වූ අදහස් මෙසේය.


ශ්‍රී ලංකා කණ්ඩායම දස්කම් අතින් පසුබෑමකට ලක්ව සිටින මෙම අවස්ථාවේදී කළ යුත්තේ කණ්ඩායමට ගැරහීම නොව කණ්ඩායම ධෛර්වත් කිරීම බවත් හෙට (31 වැනිදා) පැවැත්වෙන සිවුවැනි එක්දින තරගය නැරඹීම සඳහා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට එන විට ගල් නොව මල් සහ සිංහ ධජය රැගෙන ආ යුතු බවත් කලකට ඉහතදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ සුප්‍රකට දිරිගන්වන්නකු වූ නාවරගොඩගෙදර ලයනල් මහතා කියයි.


“මේක අපේ ආඩම්බරය.... මේක අපේ අභිමානය....මේක වැටෙන්න දෙන්න බෑ...මොනවා කරලා හරි මේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගන්න ඕනෑ...” යයි කී ලයනල් මහතා


“අපි සේරම එකතු වෙලා වික්ටර් රත්නායකගේ ‘ඔක්කොම රජවරු’ සිංදුව කිව්වෙ (ක්‍රිකට් පිටියෙදි). අපි සිංහ කොඩිය මෙතැනට ගෙනාවෙ පිරිත් කරලා. ඒ තත්ත්වෙට අපි ආයෙත් එන්න ඕන. ඒ ත්තත්වය නැවතත් ඇති කරන්න ඕන” යයිද ලයනල් මහතා පැවසීය.


පසුගිය කාලයේදී ඇතිවූ සිත් තැවුල් හේතුවෙන් ක්‍රිකට් පිටියෙන් ඈත්වී සිටි ශ්‍රී ලංකාවේ සැබෑ ප්‍රේක්‍ෂකයන් නැවතත් ක්‍රීඩා පිටියට ඒකරාශි කරගත යුතු බවත් ක්‍රිකට් තරගයක් පැවැත්වෙමින් තිබියදී මඳකට නතර වූ ශ්‍රී ලාංකිකයන්ගේ හදගැස්ම ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්කළ නොහැකි බවත් ලයනල් මහතා කියයි.


පරිපාලනය කඩා වැටීමෙන් ක්‍රීඩකයෝත් අමාරුවේ වැටිලා

- උපාලි ධර්මදාස

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය කඩා වැටීමෙන් ක්‍රීඩකයොත් අමාරුවේ වැටී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන උපාලි ධර්මදාස මහතා පවසයි.


පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පසුගියදා ප්‍රේක්‍ෂකයන්ගේ විරෝධතාවක් හේතුවෙන් තරගය තාවකාලිකව නතර කිරීමට සිදුවීම පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී උපාලි ධර්මදාස මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.  


“මෙහිදී කළ යුත්තේ ක්‍රීඩකයන්ට ‘හූ’ කීම නොව ඔවුන්ට සහයෝගය දැක්වීමයි. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය කඩා වැටීමෙන් අපහසුතාවට පත්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මේ අවස්ථාවේ අනුකම්පාව දැක්විය යුතුයි”


“මෙහිදී වෙලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම ක්‍රිකට් පරිපාලනය කඩා වැටීමක් එයට ක්‍රීඩකයන්නට කරන්න දෙයක් නෑ”


“අපිත් 1989 සිට 2014 දක්වා ක්‍රිකට් පරිපාලනයේ හිටියා. නමුත් අපේ කාළේ මෙවැනි දේවල් වුණේ නෑ. පාලකයෝ කියන සහ කරන දේවල්වලින් ක්‍රීඩකයොත් අමාරුවේ වැටිලයි ඉන්නේ. තරග පරාජයටත් එය හේතුවක් වෙලා තියෙනවා”

 

පරාජයේ වැරැද්ද ක්‍රීඩකයන්ට පටවන්න එපා

- ආනා පුංචිහේවා

ප්‍රේක්‍ෂකයන් ක්‍රීඩකයන්ට එරෙහිව විරෝධතා දැක්වීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන ආනා පුංචිහේවා මහතාගෙන් ‘ලංකාදීප’ කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ පරාජයේ වරද ක්‍රීඩකයන්ට පිට පැටවීම නොකළ යුතු බවයි.


ශ්‍රී ලංකාව 96 විල්ස් ලෝක කුසලාන ශූරතාව දිනාගන්නා විට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ආනා පුංචිහේවා මහතා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.  


“ක්‍රීඩකයන්ට ‘හූ’ කීම සහ විරෝධය දැක්වීම හොඳ නැති දෙයක්. පරාජයේ වගකීම එසේත් නැත්නම් වරද ක්‍රීඩකයන්ට පිට පැටවීම කරන්න බෑ. මේ විදිය විරෝධතාවලින් මුළු ලෝකයටම ශ්‍රී ලංකාව හෑල්ලුවට පත්වෙනවා”


“මට මතකයි අපිට 1996 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාවවට එරෙහිව අවසන් පූර්ව තරගයේදී මෙවැනි අත්දැකීමකට මුහුණ දෙන්න වුණා. ඒ අවස්ථාවේ මම එහි සිටියා. එහිදී අපි දැඩි අපහසුතාවට පත්වුණා. මම කියන්නේ මේවා නොවිය යුතු දේවල්”


 
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්‍ෂකයන්ට තිබූ පිළිගැනීමට විශාල හානියක් වුණා

- ජයන්ත සෙනෙවිරත්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්‍ෂකයන් රැකගෙන තිබූ පිළිගැනීමට මෙම සිද්ධීන් සමඟ හානියක් වූ බව හිටපු තේරීම් කමිටු නිලධාරියකු සහ ක්‍රිකට් කළමනාකරුවකු වන ජයන්ත සෙනෙවිරත්න මහතා පවසයි.


ක්‍රිකට් ප්‍රේක්‍ෂකයන්ගේ විරෝධතාවක් හේතුවෙන් තරග තාවකාලිකව නතර කිරීමට සිදුවීම පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් මෙසේ පැවසීය.


“ප්‍රේක්‍ෂකයන් කරපු වැඬේ පිළිගන්න බෑ. ඒ වැඬේ වැරදියි. අපේ රටේ උගත් මිනිස්සු ඉන්නවා කියලා පිළිගැනීමක් තියෙනවා. ඉන්දියාව සහ පාකිස්තානයේ ප්‍රේක්‍ෂකයන්ගේ තත්ත්වයට අපේ ප්‍රේක්‍ෂකයන් වැටීමෙන් ශ්‍රී ලංකාවේ ගෞරවයට හානියක් වුණා”


“මම ශ්‍රී ලංකා කණ්ඩායම් සමඟ සංචාරවලට සහභාගි වෙලා තියෙනවා. ඒ අවස්ථාවලදී වෙනත් රටවල්වල නිලධාරීන් අපිට කියලා තියනවා. ලංකාවේ ප්‍රේක්‍ෂකයෝ ගොඩක් හොඳයි වෙනත් රටක ක්‍රීඩකයකුගේ දස්කම් උනත් අගය කරලා අත්පොළසන් දෙනවා කියලා”


“අපේ ප්‍රේක්‍ෂකයෝ ‘හූ’ කියන් ගියාම අපේ තත්ත්වය නැති වෙනවා. හැමවෙලාවෙම ජයග්‍රහණය කරන්න බැරි බව ප්‍රේක්‍ෂකයෝ තේරුම්ගත යුතුයි”


“පරාජයට හේතුව මොකක්ද කියලා ප්‍රේක්‍ෂකයෝ තේරුම් ගන්න ඕනේ. අපේ තේරීම්වල ප්‍රශ්නයක් තියෙනවා. එක පාරම කණ්ඩායම වෙනස් කරනවා. එහෙම වුණාම ක්‍රීඩකයෝ මානසිව වැටෙනවා”

 

තරග පරාජය වීමේ කණගාටුව පෙන්නුම් කළ ආකාරය මේකයි

පාපන්දු සභාපති අනුර ද සිල්වා

ක්‍රිකට් ප්‍රේක්‍ෂකයන් තරගය පරාජයේ කණගාටුව ප්‍රකාශ කිරීමට විරෝධය දැක්වීම යොදාගෙන ඇති බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පවසයි. ක්‍රිකට් ප්‍රේක්‍ෂකයන් තරග අතරතුර විරෝධයන් දක්වමින් කළහකාරීව හැසීම පිළිබඳව ‘ලංකාදීප’ ක විමසුමේදී පාපන්දු සභාපතිවරයා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.


“ප්‍රේක්‍ෂකයන් තරග පරාජයට පත්වීමේ කණගාටුව ප්‍රකාශ කරන ආකාරය හැටියට තමයි මම මේක දකින්නේ. නමුත් එය ක්‍රීඩාවට හොඳ දෙයක් නොවයි. ක්‍රීඩාව පිළිබඳව ප්‍රේක්‍ෂකයෝ මීට වඩා දැනුවත් විය යුතුයි”


“ප්‍රේක්‍ෂකයෝ හැගීම් පාලනය කරගෙන ජය මෙන්ම පරාජයත් විදදරා ගැනීමට පුරුදු වෙන්න ඕනේ”


“ක්‍රිකට් ක්‍රීඩාව ගත්තොත් වෙනත් රටවල් මීට වඩා පසු බෑම්වලට ලක්වෙලා තියෙනවා. එංගලන්තය, ඕස්ටේ්‍රලියාව, බටහිර ඉන්දීය කොදෙව් වගේ රටවල් පසු බෑම්වලට ලක්වුණා. නමුත් දැන් එංගලන්තය සහ ඕස්ටේ්‍රලියාව නැවතත් ප්‍රබල කණ්ඩායම් බවට පත්වෙලා තියෙනවා”


“අපි ඉන්දියාව ගත්තොත් පසු බෑමට ලක්වූ අවස්ථාවලදී ඔවුන්ගේ රටේ ප්‍රේක්‍ෂකයෝ මීට වඩා දරුණු වුණා. නමුත් ඒවා ක්‍රීඩාවට හොඳ දේවල් නොවයි. පරාජයට හේතුව සොයන්න තාක්‍ෂණික විග්‍රහයක් කරන්න ඕනේ”

 

ක්‍රීඩකයන්ට මේ විදිහට ‘හූ’ කියන්නේ ක්‍රිකට් වලට ආදරය කරන අය නෙමේ

ශානක මනුරංග

ක්‍රීඩකයන්ට මේ විදිහට ‘හූ’ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ක්‍රිකට් ලෝලීන් නොවන බව සාමාන්‍ය ක්‍රිකට් ලෝලියකු වන ව්‍යාපාරික ශානක මනුරංග මහතා ‘ලංකාදීප’ කළ විමසුමකදී පැවසීය.


“අපි ක්‍රිකට් ගැහුවා, ක්‍රිකට් බලනවා ක්‍රිකට්වලට ආදරෙයි. ඒ නිසා ක්‍රිකට් ප්‍රේක්‍ෂකයන් පසුගිය තරගවලදී කරපු දේවල් අනුමත කරන්න බෑ. මම හිතන්නේ ඒ ක්‍රිකට්වලට ආදරය කරන ක්‍රිකට් ලෝලීන් වෙන්න බෑ”


“මම කියන්නේ ‘හූ’ කියලා බෝතල්වලින් ගහලා ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගන්න බෑ. මුල සිටම මේක හදන්න ඕනේ. අපිට වඩා ක්‍රිකට් ගැන දැනුම තියෙන අය අපේ රටේ ඉන්නවා ඒ අය මේ අවස්ථාවේ පෙරමුණට එන්න ඕනේ”


“අපේ ගම්වල දක්‍ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. එවැනි ක්‍රීඩකයො සොයා ගන්න කඳවුරු පවත්වලා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් හොඳයි කියලා මට හිතෙනවා”


අදහස් (0)

ගල් නෙමේ මල් අරන් එන්න

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.