Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ සිට...)
විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් ලෝක ශූරයන් වුවද අන්තර්ජාතික ශ්‍රේණිගතකිරීම අනුව බටහිර ඉන්දීය කොදෙව් පිල සිටින්නේ ශ්‍රී ලංකාවට වඩා පහළිනි. ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට 8 වැනි ස්ථානයත් (ප්‍රසාද ලකුණු 236) කොදෙව් පිලට 10 වැනි ස්ථානයත් (ප්‍රසාද ලකුණු 223) හිමිව තිබේ.
එහෙත් එක්දින තරගාවලියේදී මෙන් නොව, විස්සයි-20 තරගාවලිය සඳහා කොදෙව් පිලට අලුතින් එක් වී සිටින ඔන්ඩ්‍රි රසල් සහ ඔෂේන් තෝමස් දෙදෙනාත් එක්ව කොදෙව් පිල සූදානම් වන්නේ අලුත්ම ගමනක් යාමටය. සියලුම ආකාරයේ විස්සයි-20 තරගවල එකතුවෙන් තම 500 වැනි තරගය ක්‍රීඩා කිරීමට සූදානම් වන නායක කිරන් පොලාර්ඩ්, ෆේබියන් ඇලන් සහ ෂායි හෝප් සමගින් කොදෙව්වෝ එම අලුත් ගමනට පිඹුරු පත් සකසති.
“වත්මන් ලෝක ශූරයන් වුණත් මෙවර වි-20 ලෝක කුසලාන තරගාවලියේදී කාගේත් තේරීම අපියි කියලා නම් මම හිතන්නේ නෑ. මොකද ශ්‍රේණිගත කිරීම් ඒකට සාක්ෂි සපයනවා.... ඒත් අපට මෙතැනින් ආරම්භ කරන්න පුළුවන්. මෙතන ඉඳන් අපට පුළුවන් අපේ ගොඩනැඟීම ආරම්භ කරලා ලෝක කුසලාන තරගාවලියේදී අප ක්‍රීඩා කරන්නේ කොහොමද කියලා සැලැස්මක් හදාගන්න” යයි කොදෙව් පිලේ පුහුණුකරු පිල් සිමන්ස් මහතා අද සවස පැවසීය.
“ලෝක කුසලාන තරගාවලියට ඉස්සරවෙලා අපට තවත් විස්සයි-20 තරග 12 ක් හෝ 13 ක් තියෙනවා. මා හිතන්නේ ඒ කාලය හොඳටම ඇති අපට කණ්ඩායමක් වශයෙන් එකතු වෙන්න. අනෙක අපට තියෙන පළපුරුද්දත් එක්ක ඒක එච්චර අමාරු දෙයක් නෙමේ” යයිද සිමන්ස් මහතා පැවසීය.
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි-20 තරගාවලිය ආරම්භ කරමින් මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී හෙට (4 වැනිදා) පැවැත්වෙන තරගයට කොදෙව්වන් සූදානම් වන්නේ එලෙසිනි. තරගය හෙට රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතය.
විස්සයි-20 ලෝක කුසලාන දෙවරක් දිනාගත් එකම කණ්ඩායම කොදෙව් පිලයි. 2012 දී ශ්‍රී ලංකාවේදීද, 2016 දී ඉන්දියාවේදීද කොදෙව්වෝ විස්සයි-20 ලෝක කුසලානය දිනාගත්හ.
ශ්‍රී ලංකාව හා පැවැති එක්දින තරගාවලියේදී කණ්ඩායම් දෙකේම සාර්ථකම පිතිකරුවා වූ ශායි හෝප් තරග 3 කදී ශතකයක් ද සමගින් ලකුණු 238 ක් ලබාගත්තේය. තරග දෙකකට සහභාගි වූ ෆේබියන් ඇලන් ලබාගත්තේ ලකුණු 54 ක් වූවත් ඔහු ඒ වෙනුවෙන් මුහුණ දුන්නේ පන්දු 29 කට පමණි.
මෙම තත්ත්වය ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ ඇති තියුණු අභියෝගයකි.
එක්දින තරගාවලියේදී 3-0 ක ජයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙදෙනකු හැරෙන්නට අනෙක් සියලු දෙනාම පාහේ විස්සයි-20 තරගාවලියටත් සිටිති. නුවන් ප්‍රදීප් සහ ධනංජය ද සිල්වා දෙදෙනාම ආබාධයන්ට ලක්ව සිටින බැවින් විස්සයි-20 තරගාවලියෙන් ඉවත්ව ගියද සංචිතයට කැඳවා ඇත්තේ වේග පන්දු යවන්නකු වන අසිත ප්‍රනාන්දු පමණි.
වසර 2017 දී සිම්බාබ්වේ පිලට එරෙහිව ශ්‍රී ලංකා හිස්වැස්ම දිනාගත් අසිත ප්‍රනාන්දුට එතැන් සිට අවස්ථාවක් ලැබුණේම නැත. එහෙත් හෙට තරගයේදී වුවත් අසිතට ස්ථානයක් ලැබීම උගහට වන්නේ ශ්‍රී ලංකා සංචිතයේ වේග පන්දු යැවිය හැකි තුන් ඉරියව් ක්‍රීඩකයන් තිදෙනකුම සිටින බැවිනි.
ඉරිදා පැවැති එක්දින තරගයේදී ඕවර 3 ක් යැවීමෙන් පසුව නුවන් ප්‍රදීප්ගේ කලව පිටුපස මස්පිඬුවේ ආබාධයක් ඇතිවීමෙන් ආපසු ක්‍රීඩාගාරයට ගියේය. ධනංජය ද සිල්වාගේ දකුණු අතේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් ඔහුව එම්.ආර්.අයි. ස්කෑන් කිරීමක් සඳහා යොමුකර තිබේ. වමත් පිතිකරු කුසල් ජනිත් පෙරේරා අද (3 වැනිදා) විවාහ දිවියට පිවිසි නමුත් හෙට තරගය සඳහා ඔහු සහභාගි වන බව කණ්ඩායම් ආරංචි මාර්ග වලින් කියැවේ.
ක්‍රීඩකයන් දෙදෙනකු අහිමි වූවද එක්දින තරගාවලියේදී ලබාගත් ජය නිසා ශ්‍රී ලංකා පිල විශ්වාසනීයත්වයෙන් සිටින බව නායක ලසිත් මාලිංග කියයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය සම්බන්ධයෙන් අසීරු අභියෝග නැතත් සිතන්නට ඇත්තේ දඟ පන්දුවෙන් කොදෙව්වන් මට්ටු කරනවාද නැතිනම් වේග පන්දුවෙන්ම ඉදිරියට යනවාද කියන අන්ත දෙකින් එකක් තෝරා ගැනීම පමණි.
ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා සහ දසුන් ශනක යන තුන් ඉරියව් ක්‍රීඩකයන් අතරට එක්වන ඉසුරු උදාන, විස්සයි-20 තරග වලදී බලාපොරොත්තු තැබිය හැකි තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.
විස්සයි-20 අන්තර්ජාතික තරග 29 කදී පිතිකරුවකු වශයෙන් ලකුණු 20.63 ක සාමාන්‍යයක් පවත්වාගෙන යන ඉසුරු උදානගේ ප්‍රහාරාත්මක වේගය (පන්දු 100 කින් ලබාගන්නා ලකුණු සංඛ්‍යාව) 147 කි.
එක්දින පිලෙන් ඉවත් වූ දිමුත් කරුණාරත්න වෙනුවට නිරෝෂන් දික්වැල්ල එක්වන්නේ නම් ප්‍රශ්නය ඇත්තේ අංක 6 පිතිකරුවා කවුරුන්ද යන්නය. ඒ දසුන් ශානක හෝ ෂෙහාන් ජයසූරිය දෙදෙනාගෙන් කෙනෙක් විය හැකිය.
ක්‍රිකට් තරගයකට පෙර අවාසිදායක දේ පිළිබඳ කතා බහ කිරීම ක්‍රීඩකයෝ මෙන්ම කණ්ඩායම් නිලධාරීහුද නුරුස්සති. එහෙත් සත්‍ය තත්ත්වය නම් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සහභාගි වූ විස්සයි-20 තරග හයෙන් පහක්ම පරාජය වී ඇති බවත් ඉතිරි තරගය වර්ෂාවට සේදී ගිය බවත් මිස අනෙකක් නොවේ.
ශ්‍රී ලංකා පිල අවසන් වරට විස්සයි-20 තරගයක් ජයගත්තේ 2019 ඔක්තෝබර් මාසයේදී පාකිස්තානයේදී පැවැති තරගාවලියේදීය. ලාහෝර් නුවරදී පැවැති එම තරගාවලිය 3-0 ක් ලෙසින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේය. එහෙත් පසුව පැවැති තරගාවලි දෙකකදී ඕස්ටේ්‍රලියාව සහ ඉන්දියාව හමුවේ තරග 6 කින් 5 ක් පරාජය විය.
ලෝක ශූරයන් වන නමුත් කොදෙව් පිල සතුව තිබෙන ආසන්නතම වාර්තාවද එතරම් හිතකර එකක් නොවේ. අවසන් එක්දින තරග 6 න් තරග තරග 3 ක් පරාජය වී සිටින කොදෙව්වෝ ජනවාරි මාසයේදී අයර්ලන්තය හමුවේද තරගයක් පරාජය වූහ. තරග දෙකක් ජයගෙන තිබේ.
එබැවින් හෙට තරගය කරට කර තරගයකි.
ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතය
ලසිත් මාලිංග (නායක), අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, ෂෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, දසුන් ශානක, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, අසිත ප්‍රනාන්දු සහ ළහිරු කුමාර
කොදෙව් විස්සයි-20 සංචිතය
කිරන් පොලාර්ඩ් (නායක), ෆේබියන් ඇලන්, ඞ්වේන් බ්‍රාවෝ, ෂෙල්ඩන් කොට්ට්‍රල්, ෂිම්රන් හෙට්මියර්, ෂායි හෝප්, බ්‍රෙන්ඩන් කිං, නිකොලස් පූරන්, රොව්මන් පවෙල්, ඕන්ඩ්‍රි රසල්, ලෙන්ඞ්ල් සිමන්ස්, ඔෂේන් තෝමස්, හේඩ්න් වොල්ෂ් සහ කෙස්රික් විලියම්ස්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.