Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කුසල්ට - අවිශ්කට දිගටම අවස්ථාව

කුසල්ට - අවිශ්කට දිගටම අවස්ථාව

editorial - 2021 නොවැ මස 03 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද අබුඩාබි සිට..)

පිට පිට තරග 3 කදී උඩ පන්දු 3 ක් බිම දැමූ නමුත් කඩුලු රකින ක්‍රීඩක කුසල් පෙරේරා සහ තරග 6 කදී ලකුණු 22 ක් පමණක් රැස්කළ අවිෂ්ක ප්‍රනාන්දුත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ‍එරෙහිව අබුඩාබිහිදි හෙට (4 වැනිදා) පැවැත්වෙන තරගයටද ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා පැවසීය. මෙවර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගයට පෙර අද (3 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ආතර් මහතා ඒ බව කියා සිටියේය.

“පසුගිය කාලෙ කුසල් ආබාධවලට ලක්වෙලා හිටියෙ. ඒත් දැන් ඔහු සුපුරුදු රිද්මයට පැමිණෙමින් ඉන්නවා. ඔහු පන්දු 20 කට විතර මුහුණදුන්නොත් අනිවාර්යෙන්ම අපිට එතනින් ලකුණු 20 ක්, 30 ක් විතර ලැබෙනවා. ඔහුගේ එක සාර්ථක ඉනිමක් ප්‍රමාණවත් තරගයක් දිනවන්න. අවිෂ්ක ගත්තොත් පසුගිය තරගවලදි ඔහු ලකුණු අතරෙ සිටියෙ නෑ තමයි. ඒත් අවිෂ්ක කියන්න අපිට ඉන්න ඉතාමත් දක්ෂ පිතිකරුවෙක්. ඕනම කෙනෙක්ට අමාරු කාලයක් එනවා. ඒ කාලෙදි අපි ඔහුව රැකගත යුතුයි.” යැයි ආතර් මහතා සඳහන් කළේය.  

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩය යටතේ පැවැත්වෙන තරගය අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (4 වැනිදා) පස්වරු 7.30 ට ආරම්භ විමට නියමිතය. සුපිරි 12 දෙනාගේ වටයේදී මේ දක්වා සහභාගි වූ තරග 4 න් 3 ක් පරාජය වී සිටින ශ්‍රී ලංකාව මේ වන විටත් තරගාවලියෙන් ඉවතට විසි වී ඇති නමුත් තරග 3 කදී එක් ජයග්‍රහණයක් සහ පරාජයන් 2 ක් ලබා සිටින කොදෙව්වන්ට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට තවමත් අවස්ථාව තිබේ.

ශ්‍රී ලංකාව සහ ‍බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මේ දක්වා විස්සයි-20 තරග 14 ක් පැවැත්වී ඇති අතර කණ්ඩායම් 2 ම ඉන් තරග 7 බැගින් ජයගෙන තිබේ. ‍විස්සයි-20 ලෝක කුසලාන තරග 7 කදී මෙම කණ්ඩායම් දෙක එකිනොකට එරෙහිව තරග වැදී ඇති අතර ඉන් 5 ක් ජයගැනීමට ශ්‍රී ලංකාවත්, 2 ක් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් සමත්වී ඇත.

සාර්ථක ආරම්භයක් ලබාගනිමින් තරගාවලියට අවතීර්ණ වූ ශ්‍රී ලංකා කණ්ඩායම, එහි මැද කොටසේදී තරමක පසුබෑමක් පෙන්නුම් කළද ජයග්‍රහණයකින් තරගාවලියට සමු දීම සඳහා ශ්‍රී ලංකාවට අද තරගයේ ජයග්‍රහණය බෙහෙවින්ම ඉවහල් වනු ඇත.  

 ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගයේදී අර්ධ ශතකයක් ලබාගනිමින් ඕස්ට්‍රේලියානු ජයග්‍රහණයයේ නියමුවා බවට පත්වූ ඩේවිඩ් වෝනර් (65), ලකුණු 18 ක් ලබා සිටියදී දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ දුන් උඩ පන්දුවක් කුසල් පෙරේරා අතින් ගිළිහී ගියේය. චමීර යැවූ සිවුවැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී දුන් එම උඩ පන්දුව රැකගැනීමට කුසල් අපොහොසත් වීම හේතුවෙන්, ඒරන් ෆින්ච් සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩනැගූ වෝනර් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
 
දකුණු අප්‍රිකානු තරගයේදී චාමික කරුණාරත්න යැවූ 8 වැනි ඕවරයේ අවසන් පන්දුව වයිඩ් පන්දුවක් බවට විනිසුරුවරයා සංඥා කළද, පුණරූපණ ඔස්සේ දැකගත හැකි වූයේ එය ටෙම්බා බවුමාගේ පිත්තේ වැදී ගිය උඩ පන්දුවක් බවය. කෙසේ වුවත් එය රැකගැනීමට කුසල් අසමත් වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදයට යෑමට පවා නොහැකි විය. ඒ වන විට ලබා සිටියේ ලකුණු 7 ක් වුවත්, ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් බවුමා ලකුණු 46 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමුවේය.

එංගලන්ත තරගයේදී කුසල් බිම දැමුවේ ඩේවිඩ් මලාන් ලබා දුන් උඩ පන්දුවකි. ඉන් පසුව යැවූ පන්දුවේදීම මලාන්ගේ කඩුල්ල බිඳ දැමීමට චමීර සමත් වූ බැවින් එම උඩ පන්දුව ගිළිහී යෑමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එතරම් බලපෑමක් නොවීය. එහෙත් එහිදී ඔහු අතහැරි‍යේ එ් වන විට විස්සයි-20 ශ්‍රේණිගත කිරීහිම් පෙරමුණේ පසුවූ පිතිකරුවාගේ උඩ පන්දුවකි.

අංක 4 ස්ථාන‍යේ පන්දුවට පහරදෙන අවිෂ්ක ප්‍රනාන්දු මෙම තරගාවලිය පුරා පිතිකරුවකු ලෙස දිගින් දිගටම අසාර්ථක වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ කඩා වැටීමට බෙහෙවින්ම බලපෑවේය. මූලික වටයේදී නැමීබියාවට එරෙහිව නොදැවී ලකුණු 30 ක් රැස්කිරීමෙන් අනතුරුව යළිත් ලකුණු අතරට පැමිණීමට අවිෂ්ක අපොහොසත් විය. ඉන් අනතුරුව පැවැති තරග 6 දී ඔහු‍ගේ ලකුණු ලබාගැනීම සටහන් වූයේ පිළිවෙලින් 0, නොදැවී 2, 0, 4, 3 සහ 13 ක් ලෙසිනි.

අද තරගයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ විශාල වෙනසක් බලාපොරොත්තු විය නොහැකි නමුත්, අතිරේක දඟ පන්දු යවන්නකු කණ්ඩායමට එක් කිරීම සම්බන්ධයෙන්ද කණ්ඩායම්  කළමණාකාරීත්වයේ අදහසක් ඇති බව වාර්තා වේ. එසේ වුවහොත් තවමත් එක් තරගයකට හෝ ක්‍රිඩා නොකළ ධනංජය ද සිල්වාට හෝ අකිල ධනංජයට අද තරගයේදී කණ්ඩායමේ ස්ථානයක් හිමි වීමටත්, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය හමුවේ දැඩි ලෙස පහර කෑමකට ලක්වූ ළහිරු කුමාරට කණ්ඩාය‍මේ ස්ථානයක් අහිමි වීමටත් ඉඩ තිබේ.

ශ්‍රී ලංකාව සහභාගි වූ මුල් තරග 4 දී කඩුලු 8 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වීමට ළහිරු කුමාර සමත් විය. එහෙත් ඉන් අනතුරුව පැවැති තරගවලදී ඔහුගේ ඕවර 4 තුළ ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ ලකුණු 48 ක්ද, දකුණු අප්‍රිකානු පිතිකරුවෝ ලකුණු 35 ක්ද, එංගලන්ත පිතිකරුවෝ ලකුණු 44 ක්ද රැස්කළේ එක් කඩුල්ලක් හෝ දවාගැනීමට ඔහුට අවස්ථාවක් ලබා‍ නොදෙමිනි. එබැවින් ‍අද තරගයේදී හෝ ළහිරුට ‍විවේකයක් ලබාදෙමින් අතිරේක දඟ පන්දු යවන්නකු කණ්ඩාමට කැඳවන්නේ නම් එය කණ්ඩායමට මෙන්ම ඔහුටද කරන උපකාරයක් වනු ඇත.


ශ්‍රී ලංකා සංචිතය
දසුන් ශානක (නායක), කුසල් පෙරේරා, අවිෂ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, ‍මහීෂ් තීක්ෂණ, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, දුෂ්මන්ත චමීර, භානුක රාජපක්ෂ, පැතුම් නිස්සංක, අකිල ධනංජය, ළහිරු කුමාර සහ බිනුර ප්‍රනාන්දු

බටහිර ඉන්දීය කොදෙව් සංචිතය
කිරන් පොලාඩ් (නායක), නිකලස් පුරාන්, ඩ්වේන් බ්‍රාවෝ, රොස්ටන් චේස්, ඔන්ඩ්‍රි ෆ්ලෙචර්, ක්‍රිස් ගේල්, ශිම්රන් හැට්මයර්, ජේසන් හෝල්ඩර්, අකීල් හුසේන්, එවින් ලුවිස්, රවී රාම්පෝල්, ඔන්ඩ්‍රි රසල්, ලෙන්ඩ්ල් සිමන්ස්, ඔෂේන් තෝමස් සහ හේඩ්න් වොල්ෂ්


අදහස් (1)

කුසල්ට - අවිශ්කට දිගටම අවස්ථාව
  • sam Thursday, 04 November 2021 12:42 PM

    ඔච්චර හොඳට ඕපනර් හැටියට ලකුණු රැස් කරකර හිටිය අවිශ්ක අංක 04ට දාලා අවිශ්කගේ ජීවිතය විනාශ කරන්න හදන්නේ කවුද? අවිශ්ක හොඳට සෙල්ලම් කළා... ඒකට ඉරිසියා හිතිලා අවිශ්කව අයින් කරන්න වෙන්නැති ඔය වගේ තීරණයක් ගත්තේ.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.