Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කුසල් ජනිත් වෙනුවට දික්වැල්ල
බංග්ලාදේශ සංචාරය

කුසල් ජනිත් වෙනුවට දික්වැල්ල

editorial - 2024 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

උණ සහ ඇදුම රෝගය හේතුවෙන් ශ්‍රී ලංකා පිලේ මුල්පෙළ පිතිකරු කුසල් පෙරේරාටත් බංගලාදේශ සංචාරයෙන් ඉවත් වීමට සිදුවී තිබේ. බ්‍රහස්පතින්දා (29 වැනිදා) බංග්ලාදේශය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමට කුසල් පෙරේරා එක් නොවීය. කුසල් වෙනුවට නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයට එක්වීමට සූදානමින් සිටී.

නිරෝෂන් දික්වැල්ල අද (2 වැනිදා) බංග්ලාදේශය බලා පිටත්ව යාමට නියමිතව තිබිණ. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර විස්සයි-20 තරගාවලිය සඳුදා (4 වැනිදා) ආරම්භ වෙයි. 

ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක, පාදයේ මස්පිඬුවක ආබාධයක් හේතුවෙන් විස්සයි20 තරඟාවලියෙන් ඉවත් වීමෙන් පසුව ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයෙන් ඉවත් කරන ලද දෙවැනි ක්‍රීඩකයා වන්නේ කුසල් පෙරේරාය. 
නිරෝෂන් දික්වැල්ල පසුගිය කාලයේදී පිතිකරුවකු ලෙසින් සාර්ථක නොවුණත්, ඔහු බංගලාදේශ සංචාරයට තෝරාගෙන ඇත්තේ සීමිත ඕවර ක්‍රිකට් ක්‍රීඩාවේදී ශ්‍රී ලංකාව සතුව සිටින ආරම්භක පිතිකරුවන්ගේ හිඟකම හේතුවෙනි. එබැවින් නැවත ජාතික සංචිතයට පැමිණීම දික්වැල්ලගේ වාසනාවකි. 

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් අතරේ සිටි ඉතාමත් දක්‍ෂ පිතිකරුවකු වන නමුත් නිසි විනයක් නැතිකමත්, තමන්ගේ නිසඟ හැකියාව තත්ත්වාකාරයෙන් වටහාගෙන නොතිබීමත් නිසා දික්වැල්ල ජාතික කණ්ඩායමේ සාමාජිකත්වය අහිමි කරගත්තේය. එසේ නොවුණා නම් මේ වන විට ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන ආකෘති තුනේදීම, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරීමට තරම් හැකියාවත් අවස්ථාවත් තිබූ අයෙකි දික්වැල්ල. 

“අපි තරුණ ආරම්භක පිතිකරුවෙක් එක්ක මේ සංචාරයට යන්න කැමතියි නමුත් අවාසනාවකට ලසිත් කෲස්පුල්ලේ සහ ෂෙවොන් ඩැනියෙල් දෙන්නාම පසුගිය තරග වලදී කිසිම සාර්ථකත්වයක් පෙන්නලා නැහැ. මේ තත්ත්වය තුළ අපි නායකයා සහ පුහුණුකරු එක්ක කතා කළා. ඔවුන්ගේත් අදහස වුණේ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ගැනත් හිතලා, පළපුරුදු පිතිකරුවෙකු සංචිතයට ඇතුළත් කිරීම වඩා හොඳ බවයි” යයි උපුල් තරංග ඬේලි එෆ්.ටී. පුවත් පතට පවසා තිබිණ. 

“විශේෂම දේ තමයි, ආබාධයක් වුණොත් අපිට අතිරේක පිතිකරුවෙක් සංචිතයේ ඉන්න ඕන කියන එක. අපට සීමිත ඕවර කාණ්ඩයේ ආරම්භක පිතිකරුවන්ගේ විශාල හිඟයක් තියෙන නිසා නැවත වරක් දික්වැල්ල දිහාවට හැරෙන්න සිද්ධ වුණා” යයි ද උපුල් තරංග ඬේලි එෆ්.ටී. පුවත් පතට කියා තිබිණ. 

ජාතික සුපර් ලීග් තරගාවලියේදී මහනුවර පිලට නායකත්වය දෙමින් තරග කරන දික්වැල්ල, යාපනයට එරෙහිව පන්දු 49 කදී ලකුණු 53 ක් ලබාගත් අතර කොළඹ පිලට එරෙහිව ඉවක් බවක් නැති පහරදීමක නිරත වෙමින් පන්දු 23 කදී ලකුණු 50 ක් ලබාගත්තේය. කෙසේ වෙතත් ඔහු ශ්‍රී ලංකා සංචිතයට එක්වන්නේ අවශ්‍ය වුවහොත් යොදාගත හැකි ආරම්භක පිතිකරුවකු ලෙසිනි. 

දැනට තිබෙන තත්ත්වය යටතේ අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා විස්සයි-20 තරගාවලියේදී ඉනිම ආරම්භ කරනු ඇත. ධනංජය ද සිල්වා අංක 3 ස්ථානයට පිවිසෙන අතර ඇෆ්ඝනිස්ථානුවන් හමුවේ පන්දු 39 කින් නොදැවී ලකුණු 65 ක් ලබාගත් කමිඳු මෙන්ඩිස්ට කණ්ඩායමේ ස්ථානයක් හිමිවීමට නියමිතය. 

වනිඳු හසරංග තරග 2  ක තහනමකට මුහුණ දී සිටින බැවින්, පළමු විස්සයි-20 තරග දෙකේදී චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමට නියමිතය. 

- 213


අදහස් (0)

කුසල් ජනිත් වෙනුවට දික්වැල්ල

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.