Last Update  :  2025-09-08 14:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිකට් ලොව එකලු කළ අනඳ පුතුන්

ක්‍රිකට් ලොව එකලු කළ අනඳ පුතුන්

editorial - 2025 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේදී පවතින ස්ථාවර තත්ත්වයට පැමිණියේ කෙටි කලකින් නොවේ. දශක හත අටකට වැඩි කාලයක් තිස්සේ ඒ වෙනුවෙන් කර උර දුන්නෝත්, දහදිය කඳුළු පමණක් නොව ලේ හෙළුෑ අයද සිටිති. කාලයත් සමගින් වියපත්ව යන ඔවුන් ගැන දන්නෝ ඉතා ස්වල්පයහ. එහෙග් ඔව්හු යුග පුරුෂයෝම වෙත්. 

යුග පුරුෂයෝ යනු යුගයක් ආලෝකවත් කළ තැනැත්තෝ වෙත්. ඔව්හු පහන් සිළක් මෙන් දීප්තිමත්ය. තනි පහන් සිළුවක දීප්තියෙන් විශාල ප්‍රදේශයක් ආලෝකවත් වන්නාක් මෙන් එවන් ක්‍රීඩකයන්ගේ දීප්තියෙන් යුගයක්ම ආලෝකවත් කෙරෙයි.

එවන් යුග පුරුෂයන්ගේ අතීතය රසබරය. බරසාරය. 

ඔවුන්ගේ රසබර අන්දර මෙන්ම ආගිය කතාත්, අත්දැකීම් සහ පළපුරුද්දෙන් උකහා ගත් දැනුමත් හුදු කතිකාවකට සීමා කිරීම අපරාධයකි. ඉදින් එවන් යුග පුරුෂයන්ගේ තොරතුරු පිළිබඳ ස්ථාවර ලිඛිත සටහනක් තබමින් “ක්‍රිකට් ලොව එකලු කළ අනඳ පුතුන්” යනුවෙන් අගනා ග්‍රන්ථයක් සම්පාදනය කළ සරත් ජයසිංහ කාලයේ නිශ්චිත අවශ්‍යතාවක් ඉටුකර තිබේ. 

1996 දී ලෝක කුසලාන තරගාවලිය ජයගැනීමෙන් පසුව, ලෝක කුසලානය ද සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණි ගුවන් යානය පදවාගෙන ආවේ කවුරුන්ද යන්න කිසිවකු ඇසුවහොත් උත්තරය බොහෝ දෙනෙක් දනිති. එහෙත් එක්දින අන්තර්ජාතික තරගයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් `පළමු අර්ධ ශතකය ලබාගත්තේ කවුරන්ද යයි විමසුවහොත් බොහෝ දෙනා මඳ වේලාවක් ඔලුව කසනු නිසැකය. 

මේ ප්‍රශ්න දෙකටම ඇත්තේ එකම උත්තරයකි. ඔහු සුනිල් වෙත්තමුණිය 

සුනිල්ගේ බාල සොහොයුරු සිදත් වෙත්තමුණි, ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල ටෙස්ට් ශතකය ලබාගන්නා විට, අන්තර්ජාලයේ අනේක විධ සෙල්ලම් පෙන්වන ඔබගෙන් වැඩි දෙනෙක් ඉපදී නැතුවාට සැක නැත. 1982 තරම් ඈතකදී, සිදත් වෙත්තමුණි එම ශතකය ලබාගත්තේ පාකිස්තානයේ ෆයිස්ලාබාස් නුවරදීය. 

සුනිල්, සිදත් සහ මිත්‍ර වෙත්තමුණි සොහොයුරන්ගේ පාසල් කාලයේ සිටම තොරතුරු සමුදායක් සරත්ගේ “ක්‍රිකට් ලොව එකලු කළ අනඳ පුතුන්” කෘතියට ඇතුළත් කර තිබේ. 

එවන් කරුණු පිළිබඳ සත්‍ය සටහන් තබා තැබීම අනගතය වෙනුවෙන් කරන්නා වූ මහඟු මෙහෙවරකි. සරත් ජයසිංහයන් මෙම අභියෝගාත්මක කාර්යයට අතගසන්නේ “දැන් කාලේ මිනිස්සු පොත් කියවන්නේ නෑ” යයි අඬෝවැඩියාවක් තිබියදීය. එබැවින් සරත් ජංසිංහගේ මෙම අගනා වෑයම ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ පිනට සිදුවූවකි. 

ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව කොහොමටත් පුන්‍යවන්ත පුරුෂයින්ගෙන්  අනූනය. සරත්ගේ ක්‍රිකට් ලොව එකලු කළ අනඳ පුතුන්” කෘතිය කියවාගෙන යාමේදී එය ඉතාම හොඳින් පැහැදිළි වන්නකි. 

මෙම ග්‍රන්ථය සඳහා පූර්විකාවක් ලියන අනුරුද්ධ පොළොන්නෝවිට මහතා සිය 86 වසරක මතකය සූරා පාඨකයා හමුවේ අගනා තොරතුරු රැසක් තබයි. 

තමන් වයස අවුරුදු 11 ක පමණ කොලු ගැටයකුව සිටි සන්දියේ වැස්සකට නොතෙමී ඉන්නට සිතා නාලන්දාවේ (එවකට ආනන්ද ක්‍රිකට් කණ්ඩායම පුහුණුවීම් කළේ නාලන්දා විද්‍යාලයීය පිටියේදීය) නේවාසිකාගාරය පැත්තට දිවගිය අන්දමත්, එවකට ආනන්දයේ සිටි එම්. ඒ. ජයසිංහ වැනි ගුරුදෙවිවරුන් නිසා තමන්ට ක්‍රීඩා කිරීමේ වරම ලැබුණ සැටිත් පොළොන්නෝවිට මහතා කියයි. පසු කලෙක ලංකා කණ්ඩායම නියෝජනය කළ ප්‍රධාන පෙළේ දඟ පන්දු යවන්නකු මෙන්ම ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් ගණනාවකට ගුරුහරුකම් දෙමින්, පුරා වසර 38 ක කාලයක් ආනන්දයේ 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායටම භාරව සිටි ප්‍රධාන පුහුණුකරුවාගේ ක්‍රිකට් දිවියේ ආරම්භය එයයි. 

දීර්ඝ කාලයක් තිස්සේ පොළාන්නෝවිට මහතාගෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ සිප් සතර උගත් බොහෝ ක්‍රීඩකයෝ වෙති. වෙත්තමුණි සොහොයුරෝ මෙන්ම රණතුංග සහෝදරයොත් ඔවුන් අතර ඉදිරියෙම සිටිති. ඔවුන්ට අමතරව, බ්‍රෙන්ඩන් කුරුප්පු, මාවන් අතපත්තු, අවිශ්ක ගුණවර්ධන, තිලාන් සමරවීර සහ දිනේෂ් චන්දිමාල් ඇතුළු 26 දෙනෙක් ආනන්දය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක්වූහ.

මේ සියලු දෙනා ගැනම සුවිශේෂී තොරතුරු “ක්‍රිකට් ලොව එකලු කළ අනඳ පුතුන්” කෘතියේ සටහන් වෙයි. 
සුනිල් වෙත්තමුණි මහතාගේම වචන වලින් කියැවෙන විදිහට එහි මෙසේ සටහන් ව තිබේ. 

“තොම්සන් සහ ලිලී විදුලි වේගයෙන් පන්දු යැව්වා. ඒ පන්දුවල අධික වේගය වගේම හොඳ දෝලනයකුත් තිබුණා”

“මං තමයි තොම්සන්ට වැඩිපුරම මුහුණ දුන්නේ.. ඔහුගේ පන්දු හරියට ඊතලයක් යනවා වාගෙයි.. පන්දුව පෙනුණේ නෑ. පුංචි රේඛාවක් වේගෙන් යනවා වගේ තමයි පෙනෙන්නේ. ආපසු ක්‍රීඩාගාරයට යන්න බැරි ලැජ්ජාවට කමයි මං දිගට බැට් කළේ” (පිටුව - 36)

අම්බලන්ගොඩ ධර්මාශෝකයට ගිය අජිත් ද සිල්වා දර කෝටුවක් කැඩෙන තුරු අම්මාගෙන් ගුටි කෑමෙන් පසුව කොළඹ ආනන්දයට ආ සැටිත්, 1984 ලෝඩ්ස් ටෙස්ට් තරගයේදී ක්‍රීඩාංගණය ආක්‍රමණය කළ එල්.ටී.ටී.ඊ, ආධාරකරුවන්ගෙන් තණතීරුව ආරක්‍ෂාකරගැනීමට එංගලන්ත ජාතික විනිසුරු ඩිකී බර්ඩ් මහතා ගත් උත්සාහය ගැනත් එහි සටහන් වේ. 

ආනන්ද විද්‍යාලය සහ ක්‍රිකට් පිළිබඳ කතාකරන්නේ නම් අර්ජුන රණතුංග එහි අනිවාර්ය මාතෘකාවකි. අර්ජුනගේ ටෙස්ට් දස්කම් (ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් පිතිකරුවා) මෙන්ම එක්දින ලෝක කුසලාන ජයග්‍රහණය ගැනත් බොහෝ දෙනෙක් බොහෝ දේ දන්නා නමුත් 15 න් පහළ පාසල් ක්‍රිකට් තරගයකදී අර්ජුන ලබාගත් ත්‍රිත්ව ශතකය ගැන දන්නෝ කී දෙනෙක් සිටිත් ද?

බ්‍රෙන්ඩන් කුරුප්පු උස ක්‍රීඩකයකු වූවත් මහත දෙහෙත අයෙක් නොවේ. බ්‍රෙන්ඩන්ගේ ක්‍රිකට් දිවිය සම්පූර්ණ පරිවර්තනයකට ලක්වූයේ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වීමෙන් පසුවය. ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල ටෙස්ට් ද්විත්ව ශතකය ලබාගන්නා බ්‍රෙන්ඩන් ඒ දස්කම කරන්නේ ද සිය මංගල ටෙස්ට් තරගයේදීමය. 

ධෛර්ය  සම්පන්න චරිතයකට නිදර්ශනයක් අවශ්‍ය නම් ඒ මාවන් අතපත්තු මිස අනෙකකු නොවේ. මාවන් ගාල්ලේ මහින්ද විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අතපාත් තැබූ නමුත් යන්තම් 14 වැනි වියට පැමිණි විගසම කොළඹ ආනන්ද විදුහලට ඇතුළත් විය. සිය පළමු ටෙස්ට් තරග තුනේ ඉනිම 6 කින් එකම එක ලකුණක් පමණක් (ඉනිම 5 කදීම ලකුණු නොලබා දැවී යයි) ලබාගන්නා මාවන් සිය ටෙස්ට් දිවිය නිමා කරන්නේ ද්විත්ව ශතක හයක හිමිකරුවකු ලෙසිනි. ඒ ආනන්ද විද්‍යාලයෙන් ඔහු ලබාගත් පන්නරයයි. ඒ ගැන කතා වැස්සකි. 
තිලාන් සමරවීර, අවිශ්ක ගුණවර්ධන සහ චන්දික හතරුසිංහ ඇතුළු තවත් ආනන්දීයයන් රැසකගේ බොහොමයක් තොරතුරු වලින් සපිරුණු මෙම ග්‍රන්ථය අනාගතයේ සිට අතීතය දෙස හැරී බලන අයකුට වටිනා අත්පොතක් ද වෙයි. එහි ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන්ගේ තොරතුරු පමණක් නොවේ. ආනන්දයේ මෙන්ම ශ්‍රී ලංකාවේත් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අමිල කැපවීමකින් කටයුතු කළ ගුරුවරුන්, පුහුණුකරුවන් සහ විදුහල්පතිවරුන්ගේ ද කතාවයි. ආනන්දයේ ක්‍රිකට් සංස්කෘතියේ කතාවයි. 

‘ආනන්ද ක්‍රිකට් විංග්’ සභාපති කුෂිල් ගුණසේකර මහතා සිය පණිවිඩයේ සටහන් කරන පරිදිම, මෙම ග්‍රන්ථය “ආනන්ද ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය සිහිවටනයකි”. අනෙක් අතට “මෙම ග්‍රන්ථය නිසා ඇතිවන පිබිදීම ආනන්දයේ ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් ඉහළ තලයකට ඔසවා තබන්නට ශක්තියක් වනු ඇත.”


අදහස් (0)

ක්‍රිකට් ලොව එකලු කළ අනඳ පුතුන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.