Last Update  :  2024-04-28 19:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කණ්ඩායම් දෙකෙන්ම චමීර ඉවතට
බංග්ලාදේශ සංචාරය

කණ්ඩායම් දෙකෙන්ම චමීර ඉවතට

editorial - 2024 පෙබ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

මේ මස අගදී ආරම්භ වන ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට අහිමි වී තිබේ. පාදයේ කලව (ඉදිරි) මස්පිඬුවේ ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 තරග 3 ක් සහ එක්දින අන්තර්ජාතික තරග 3 ක් වේග පන්දු යවන්නාට අහිමි වෙයි. 

විස්සයි-20 තරගාවලියේදී දුෂ්මන්තගේ ස්ථානය වමතින් වේග පන්දු යවන බිනුර ප්‍රනාන්දුටත්, එක්දින තරගාවලියේදී එම ස්ථානය අසිත ප්‍රනාන්දුටත් හිමිවනු ඇත. නිමාවූ ඇෆ්ඝනිස්ථානු තරගාවලියේදී චමීර වෙනුවෙන් කණ්ඩායමට පැමිණි බිනුර ප්‍රනාන්දු මෙන්ම අසිත ප්‍රනාන්දුත් සාර්ථක දස්කම් දැක්වූහ. 

ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර පළමු එක්දින තරගය පැවැති පසුගිය 9 වැනිදා පාදයේ ආබාධයට ලක්වූ චමීර ඕවර 7.3 ක් යැවීමෙන් පසුව පිටියෙන් ඉවත්ව ගියේය. ඊට දින දෙකකට පසුව කොල්කටා නයිට් රයිඩර්ස් පිල විසින් අයි.පී.එල්. තරගාවලිය සඳහා දුෂ්මන්ත චමීර තෝරා ගන්නා ලදි. 

මේ අතර දඹුල්ලේදී පැවැති තුන්වැනි විස්සයි-20 තරගයේදී පාදයේ කලව මස්පිඬුවේ ආබාධයකට ලක්වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ද වෛද්‍ය පරීක්‍ෂණ කිහිපයකටම යොමුවී සිටී. ඔහුගේ වෛද්‍ය වාර්තා සෙනසුරාදා හෝ ඉරිදා දිනයන්හි ලැබීමට නියමිතය. 
“පැතුම්ගේ ආබාධය නම් ලොකු එකක් කියලා අපි හිතන්නේ නෑ. බොහෝ වෙලාවට එයාගේ වෛද්‍ය වාර්තා ඒ වෙනකොට හරියාවි. ඇරත් බංග්ලාදේශයට ගිහිල්ලා අපිට තරග කරන්න තියෙන්නේ 4 වැනිදා (පළමු වැනි විස්සයි-20 තරගය) හින්දා, එයාට සනීප වෙන්නත් කල් තියෙනවා” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියෙක් පැවසීය. 

ඇෆ්ඝනිස්ථානු පිලේ නිමාවූ ශ්‍රී ලංකා සංචාරයේදී පිත්තෙන් විශිෂ්ට දස්කම් දැක්වූ පැතුම් නිස්සංක එම තරගාවලියේ එක්දින තරග 3 කදී ලකුණු 336 ක් ද, විස්සයි-20 තරග 3 කදී ලකුණු 91 ක් ද ලබාගත්තේය. පළමු එක්දින තරගයේ සිට පැතුම්ගේ ලකුණු ලබාගැනීම් සටහන් වූයේ නොදැවී 210, 18, 118, 6, 25 සහ නොදැවී 60 ක් ලෙසිනි. 

ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 27 සහ 28 දිනවල කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් කරයි. එහිදී පවතින තත්ත්වය සහ නිස්සංකගේ වෛද්‍ය වාර්තා සමාලෝචනය කිරීමෙන් අනතුරුව පැතුම් නිස්සංක බංග්ලාදේශ සංචාරයට එක්වනු ඇත. 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර විස්සයි-20 තරගාවලිය මාර්තු මස 4 වැනිදා ශිලාත් නුවරදී ආරම්භ වෙයි. දෙපිල අතර එක්දින තරගාවලිය මාර්තු 13 වැනිාද චැටෝග්‍රෑම් හිදී ආරම්භ වීමට නියමිතය. 

ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතය 
වනිඳු හසරංග (නායක), චරිත් අසලංක (උපනායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, මහීෂ් තීක්‍ෂණ, බිනුර ප්‍රනාන්දු, මතීෂ පතිරණ, ඩිල්ෂාන් මධුශංක, නුවන් තුෂාර, අකිල ධනංජය සහ කමිඳු මෙන්ඩිස් 

ශ්‍රී ලංකා එක්දින සංචිතය
කුසල් මෙන්ඩිස් (නායක), චරිත් අසලංක (උප නායක), පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, සහන් ආරච්චිගේ, ෂෙවෝන් ඩැනියෙල්, චාමික කරුණාරත්න, ජනිත් ලියනගේ, මහීෂ් තීක්ෂණ, වනිඳු හසරංග, ප්‍රමෝද් මධුෂාන්, ඩිල්ෂාන් මධුශංක, අසිත ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ සහ අකිල ධනංජය

 


අදහස් (0)

කණ්ඩායම් දෙකෙන්ම චමීර ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.