Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියානුවෝ ඉන්දියාව ගල ග්‍රහයෙන් ගනිති
ලෝක ශූරතා අවසන් තරගය

ඕස්ට්‍රේලියානුවෝ ඉන්දියාව ගල ග්‍රහයෙන් ගනිති

editorial - 2023 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ස්ටීවන් ස්මිත් (121) සහ ට්‍රැවිස් හෙඩ් (163) දෙදෙනා ලබාගත් ශතක වලින් හිස් එසවූ ඕස්ට්‍රේලියානුවෝ ලන්ඩන් ඕවල් පිටියේදී පැවැත්වෙන ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහ තරගයේදී ඉන්දීය කණ්ඩාම ගල ග්‍රහයෙන් ගෙන සිටිති. සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 469 ක් ලබාගත් ඕස්ට්‍රේලියානුවෝ තරගයේ දෙවැනි දිනය වූ බ්‍රහස්පතින්දා (7 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට, ලකුණු 151 ක් තුළදී ඉන්දීය පිලේ කඩුලු 5 ක් දවාගෙන සිටියහ.

ඉන්දීය ඉනිමේ පස්වැනි ඕවරයේ අවසන් පන්දුවේදී සිය ප්‍රතිමල්ලවයා වන රෝහිත් ෂර්මා දවාගත් ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස්, ඉන්දීය පිතිහරඹයේ කඩා වැටීමකට මුල පාදා ගත්තේය. එතැන් සිට එතැන් සිට ලකුණු 41 ක් තුළ, විරාට් කෝලි (14) ඇතුළු පිතිකරුවන් හතර දෙනකු දැවී ගියද  පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 71 ක් එක්කළ අජින්ක්‍යා රහනේ (නොදැවී 29) සහ රවීන්ද්‍ර ජදේජා (48) එක්ව ලකුණු 150 සීමාවෙන් ඔබ්බට ඉන්දීය පිල කැඳවාගෙන ගියහ.

කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායම තවමත් ඕස්ට්‍රේලියානුවන්ට වඩා ලකුණු 318 ක් පසුපසින් සිටින අතර පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමේ අවමානයෙන් ගැලවීමට නම් තවත් ලකුණු 118 ක් ලබාගත යුතුව තිබේ.
 
මේ වන විට ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ ටෙස්ට් ශතක වාර්තාව (29) පසුකර සිටින ස්ටීවන් ස්මිත් ලබාගත් 31 වැනි ටෙස්ට් ශතකය මෙයයි. පළමු දිනය අවසානයේදී නොදැවී ලකුණු 95 ක් ලබාසිටි ස්මිත් (121) සහ ට්‍රැවිස් හෙඩ් (163) අතර පැවැති සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාව 285 කි. එය ස්ටීවන් ස්මිත් එංගලන්තයේදී ලබාගත් හත්වැනි ටෙස්ට් ශතකයයි. ඊට හතරේ පහර 19 ක් ඇතුළත් විය.

එංගලන්ත නොවන පිතිකරුවන් අතර, එංගලන්තයේදී වැඩිම ටෙස්ට් ශතක සංඛ්‍යාවක් ලබාගෙන ඇත්තේ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් (11) විසිනි.

ඉන්දිය පිලේ ජෝ‍යෂ්ඨ පිතිකරුවන් සියලු දෙනාම අසාර්ථක වූහ. මිචෙල් ස්ටාක්ගේ පන්දුවක් කෝලිගේ පිත්තේ උරහිසේ වැදී දෙවැනි ස්ලිප් හි ස්ටීවන් ස්මිත්ගේ හිසට ඉහළින් වේගයෙන් ඇදී යද්දී, ගුවනට පැන්න ස්මිත් උඩපන්දුව ඩැහැගත්තේය.

ස්මිත් සහ හෙඩ් දෙදෙනා පිටියේ සිටියදී, ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව කඩුලු 3 කට 361 ක් ලෙසින් කියැවුණද, ඕස්ටේ්‍රලියානුවන්ගේ ප්‍රබලතම කඩුලු 4 ක් ලකුණු 41 ක් තුළදී දවාගැනීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. එබැවින් වරෙක 361/3 ක් ලෙසින් තිබූ ලකුණු පුවරුව ඕවර 12 කදී 402/7 ක් ලෙසින් වෙනස් විය.


- 213


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවෝ ඉන්දියාව ගල ග්‍රහයෙන් ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.