බංග්ලාදේශයට එරෙහිව බංග්ලාදේශයේ චිතගොංහි සහුර් අහමඞ් චෞද්‍රි ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කරගත් ඕස්ට්‍රේලියාව, තරග 2 කින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට පත් කළේය. අද (7 වැනිදා) අවසන් වූ දෙවැනි ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 85 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 3 ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
පළමු ඉනිමේදී ලකුණු 77 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 157 කට සීමා කිරීමට නේතන් ලයන් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් වූහ. පළමු ඉනිමේදී කඩුලු 7 ක් දවාගත් ලයන්, දෙවැනි ඉනිමේදීද ලකුණු 60 කට කඩුලු 6 ක් දවාගනිමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.
බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදීද කඩුලු 6 ක් දවාගැනීමට ලයන් සමත් වූ බැවින් පිට පිට ටෙස්ට් ඉනිම් 3 කදී කඩුලු 6 ක් හෝ ඊට වැඩියෙන් දවාගත් පන්දු යවන්නන් අතලොස්සට එක්වීමටද ඔහුට හැකි විය. මෑත කාලයේදී අවසන් වරට එම දස්කම දක්වා තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ රංගන හේරත්ය.
මෙය (154/13) ටෙස්ට් තරගයකදී ලයන්ගේ හොඳම පන්දු යැවීම වන අතර තරගයෙන් අනතුරුව ඔහු කියා සිටියේ තරගය පැවැති තණතීරුව දඟ පන්දු යවන්නන්ට ඉතාමත් යහපත් එකක් බවයි.
“මේක පන්දු යවන්න ඉතාම හොඳ තණතීරුවක්. විශේෂයෙන්ම දඟ පන්දු යවන්නන්ට. අද දවසේදී අපේ පන්දු යවන්නන් ඉතා හොඳින් පන්දු යැවුවා. මේ වගේ තත්ත්වයන් යටතේ කණ්ඩායම වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ලැබීම හරිම වැදගත්.”
“බංග්ලාදේශය කියන්නේ දක්ෂ කණ්ඩායමක්. අපිට මේ තරගය ජයගැනීම පහසු වුණේ නෑ. මගේ එකම අරමුණ වුණේ කෙසේ හෝ ඕස්ටේ්‍රලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙනය යෑමයි.” යයි ලයන් පැවසීය.
බංග්ලාදේශ දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ මුෂ්ෆිකුර් රහීම් පන්දු 103 කට මුහුණ දෙමින් හතරේ පහරක් සමග ලකුණු 31 ක් රැස්කළ අතර මොමිනුල් හක් පන්දු 61 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 29 ක්ද රැස්කළේය.
තෙවැනි දිනය වූ ඊයේ (6 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 9 ක් දැවී ලකුණු 377 ක් ලබා සිටි ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට අද දිනයේදී එකම ලකුණුක් හෝ ලබාගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ ඉඩ නොදුන්හ. එහිදී මුස්තෆිසුර් රෙහෙමාන් කඩුලු 4 ක්ද, මෙහෙදි හසන් කඩුලු 3 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
බංග්ලාදේශ පළමු ඉනිම - සියලු දෙනා දැවී 305
(සෞම්‍ය සාකර් 33, මොමිනුල් හක් 31, සකීබ් අල් හසන් 24, මුෂ්ෆිකුර් රහීම් 68, සබීර් රෙහෙමාන් 66, නසිර් හුසේන් 45, නේතන් ලයන් 94/7, ඇෂ්ටන් ආගර් 52/2)
ඕස්ට්‍රේලියාව පළමු ඉනිම - සියලු දෙනා දැවී 377
(ඬේවිඞ් වෝනර් 123, ස්ටීවන් ස්මිත් 58, පීටර් හෑන්ඞ්ස්කොම්බ් 82, ග්ලේන් මැක්ස්වෙල් 38, ඇස්ටන් ආගර් 22, මුස්තෆිසුර් රෙහෙමාන් 84/4, මෙහෙදි හසන් 93/3)
බංග්ලාදේශ දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 157
(ඉම්රුල් කේයස් 15, මුෂ්ෆිකුර් රහීම් 31, සබීර් රෙහෙමාන් 24, මොමිනුල් හක් 29, නේදන් ලයන් 60/6, පැට් කමින්ස් 27/2, ස්ටීව් ඕ’කේෆ් 49/2)
ඕස්ට්‍රේලියාව දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 87
(මැතිව් රැන්ෂෝ 22, ස්ටීවන් ස්මිත් 16, පීටර් හෑන්ඞ්ස්කොම්බ් නොදැවී 16, ග්ලේන් මැක්ස්වෙල් නොදැවී 25)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.