Last Update  :  2024-04-29 19:59:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තයට ලකුණු 211 ක ජයක්

එංගලන්තයට ලකුණු 211 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2018 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව  සහ එංගලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගය තවත් එක් දිනක් ඉතිරිව තිබියදිම ලකුණු 211 කින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම අද (9) සමත්විය. ඒ අනුව තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස මේ වනවිටත් පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව සිටී.

ජයග්‍රහණය සඳහා ලකුණු 462 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 250 ක් පමණි. තේ පානයෙන් පසුව ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 60 ක් තුළ දවාගැනීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත්වූහ.

ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අවසන් ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිස් රංගන හේරත් ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දුවද්දී දැවීයාමකට හසුව ලකුණු 5 ක දැවී ගියේය. එංගලන්ත ක්‍රීඩකයින්ගේ සුබ පැතුම් සහ නරඹන්නන්ගේ අත්පොලසන් හා ඉතා උණුසුම් ප්‍රතිචාර මැදින් රංගන හේරත් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට අද පස්වරුවේදී සමුදුන්නේය.

තේ පානයෙන් පසුව යවන ලද ඕවර 3 ක් ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායමේ නම් දැරූ අවසන් පිතිකරුවන් දෙදෙනාම දැවී ගියද ඩිල්රුවන් පෙරේරා (30) සහ අකිල ධනංජය (8) එක්ව කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමට උත්සහ දැරීය. එහෙත් අටවැනි කඩුල්ල සඳහා ලකුණු 32 ක සම්බන්ධතාවයක් ගොඩනගා සිටියදී මුයින් අලීගේ පන්දුවක් හමුවේ අකිල ධනංජය දැවී යාමත් සමගින් එම බලාපොරොත්තුවද සුන්වී ගියේය.

පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි ඉනිමේදීද අර්ධ ශතක ලබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියාවූ ජේෂ්ඨ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 53 ක් රැස්කර සිටියදී මුයින් අලීගේ පන්දුවක් හමුවේ ජොස් බට්ලර් අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය. පන්දු 92 කට මුහුණදෙමින් කඩුල්ලේ රැඳී සිටි මැතිව්ස්ගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් විය.

තේ පානයෙන් පසුව මුයින් අලී යවන ලද පළමු පන්දුවෙන්ම නිරෝෂන් දික්වැල්ල (16), බෙන් ස්ටෝක්ස් අතට උඩපන්දුවක් දෙමින් දැවීයාමත් සමගින් පසුපෙළ පිතිකරුවන්ගේ කඩා වැටීම ආරම්භ විය.

දිවා ආහාරයත් තේ පානයත් අතර කාළය තුලදී ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 90 ක් රැස්කිරීමට සමත්වූ නමුත් ප්‍රබල කඩුලු 2 ක් අහිමිකර ගත්තේය. දිවා ආහාරයෙන් පසුව හොඳින් ලකුණු රැස්කිරීමේ නිරතව සිටි කුසල් මෙන්ඩිස් දවාගත් ජැක් ලීච් පළමු දිනයේදී ඇතිවූ ආබාධ තත්වයක් හේතුවෙන් පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි ඉනිමේදීද අංක 6 පිතිකරු ලෙස පන්දුවට පහරදීම සඳහා පැමිණි දිනේෂ් චන්දිමාල්ද දවාගැනීමට සමත්විය.

කුසල් මෙන්ඩිස් හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 45 ක් රැස්කර සිටියදී මුයින් අලී අතට උඩපන්දුවක් දෙමින් පිටියෙන් ඉවත්වූ අතර පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දිනේෂ් චන්දිමාල් එක් ලකුණක් පමණක් ලබා තිබියදී දැවී ගියේය.

දිවා ආහාරයට පෙර යවන ලද අවසන් ඕවරයේ දෙවැනි පන්දුවේදී ධනංජය ද සිල්වා දැවී යාමත් සමගින් දිවා ආහාරය සඳහා තරගය නතර කිරීමට විනිසුරුවෝ තීරණය කළහ. තෙවැනි කඩුල්ල සඳහා කුසල් මෙන්ඩිස් සමගින් එක්ව ලකුණු 39 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ධනංජය ද සිල්වා හයේ පහරක් සමගින් ලකුණු 21 ක් රැස්කර සිටියදී බෙන් ස්ටෝක්ස්ගේ පන්දුවක් හමුවේ ජෝ රූට්ට උඩපන්දුවක් දෙමින් පිටියෙන් ඉවත්ව ගියේය.

ධනංජය ද සිල්වා දැවී යෑමට පෙර පන්දුවේදීද එල්ල කළ පහරක් කඩුලු රකින ක්‍රීඩක බෙන් ෆෝක්ස් උඩපන්දුවක් ලෙස රැකගත්තේ යැයි ඉල්ලීමක් කළ අතර විනිසුරු මරායස් එරස්මස් මහතා ඒ අනුව ඔහු දැවී ගිය බවට තීරණය කළේය. එහෙත් එම තීරණයෙන් සැහීමට පත්නොවූ ධනංජය ද සිල්වා විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටි අතර පුනරූපන නැරඹීමේදී පන්දුව පිත්තේ නොවැදී කඩුල්ලු රකින්නා වෙත යන ආකාරයක් පෙන්නුම් කිරීම හේතුවෙන් තෙවැනි විනිසුරු සුන්දරම් රවී මහතා විසින් ඔහු දැවී නොගිය බවට තීරණය කිරීමත් සමගින් ධනංජයට තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමේ වාසනාව හිමිවූයේය.

පන්දු යැවූ මුයින් අලී අතටම උඩපන්දුවක් දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න ලකුණු 26 කට පිටියෙන් ඉවත්විය. ඔහු ලකුණු 16 ක් රැස්කර සිටියදී මුයින් අලීගේ පන්දුවකින්ම ස්ලිප්හී පන්දු රකිමින් සිටි බෙන් ස්ටෝක්ස්ට ලබාදුන් උඩපන්දුව අතහැරීම හේතුවෙන් තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමේ වාසනාව දිමුත් කරුණාරත්නට හිමිවූයේය.

පළමු කඩුල්ල සඳහා ලකුණු 51 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ආරම්භක පිතිකරුවන්වූ දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා සමත්වූහ. කෞෂාල් සිල්වා ලකුණු 30 ක් රැස්කර සිටියදී ජැක් ලීච්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය. එහෙත් විනිසුරුවරයා ලබාදුන් තීන්දුවත් සමගින් එකඟ නොවූ කෞෂාල් සිල්වා විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටි අතර එහිදී තෙවැනි විනිසුරු ප්‍රධාන විනිසුරුගේ තීරණය තහවුරු කර සිටියේය. ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට විනිසුරු තීරණය විමසීමේ එක් අවස්ථාවක් අපතේ ගියේය.

තෙවැනි දිනය වූ ඊයේ (8) තරගය අවසන් කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී දෙවැනි ඉනිම සඳහා ලකුණු 15 ක් රැස්කර සිටියේය.

 

 

තරගයේ විශේෂ අවස්ථා...

ඡායාරූප - චතුර එස්. කොඩිකාර


අදහස් (0)

එංගලන්තයට ලකුණු 211 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.