Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකා පිල ලබාගත් ලකුණු 241, කිසිදු අපහසුතාවකින් තොරව, ඕවර 7 ක් ඉතිරිව තිබියදීම, පසුකර ගිය එංගලන්ත ක්‍රීඩකයෝ ලන්ඩන් ඕවල් පිටියේදී අද (1 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදීත් කඩුලු 8 ක පහසු ජයක් අත්කර ගත්හ. මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත තරගාවලියේ එකක් ඉතිරිව තිබියදීම එංගලන්ත පිල 2-0 ක් ලෙසින් පෙරමුණ ගත්තේය.
සීමිත ඕවර නායක ඔයින් මෝගන් සහ ටෙස්ට් නායක ජෝ රූට් දෙදෙනා තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 140 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූයේ විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේත්, එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේත් වෙනස මේ යයි කදිමට පැහැදිළි කර දෙමිනි. පන්දු 170 කට මුහුණ දෙමින්, ඒවායින් 13 ක් හතරේ සීමාවෙන් එපිටට යැවූ නමුත් ඔවුන් දෙදෙනාගේ පිතිහරඹයේ දක්නට තිබූ සුවිශේෂී ලක්‍ෂණය වූයේ පිටියේ පරතරයන් සොයාගනිමින්, තනි ලකුණු සහ ද්විත්ව ලකුණු ලබාගැනීමයි.
ලකුණු 76 ක සම්බන්ධතාවක් පිහිටවූ ජේසන් රෝයි (60) සහ ජොනී බෙයාර්ස්ටෝ (29) දෙදෙනා ලකුණු වේගය ඉහළින් තබාගත හැකි වේගවත් ආරම්භයක් එංගලන්ත පිලට ලබා දුන්හ. එහෙත් දෙවැනි කඩුල්ල බිඳී යාමත් සමගින් එක්වූ රූට් සහ මෝගන් දෙදෙනා ආපසු ක්‍රීඩාගාරයට ගියේ තරගය අහවර කිරීමෙන් පසුවය.
පිට පිටම දෙවැනි එක්දින තරගයේදීත් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ ජෝ රූට්, තමන් ටෙස්ට් නායකයා වුවත් එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේදීත් සුවිශේෂී යමක් කළ හැකි පිතිකරුවකු බව මැනවින් තහවුරු කළේය. එංගලන්තය වෙනුවෙන් එක්දින ලකුණු 6000 සීමාව පසුකළ දෙවැනි පිතිකරුවා වන රූට් (පළමු වැන්නා ඔයින් මෝගන්) මේ දක්වා එක්දින තරග 151 කදී ලබාගත් අර්ධ ශතක සංඛ්‍යාව 35 කි. ඔයින් මෝගන් එක්දින තරග 222 කදී ඔහු ලබාගත් 41 වැනි අර්ධ ශතකය මෙයයි.
ධනංජය ද සිල්වා (91) සහ දසුන් ශානක (47) දෙදෙනාගේ නොපසුබස්නා ධෛර්යය නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 241 ක් ලබාගත්තේය. විනාශකාරී ආරම්භයක් හිමිවූ ශ්‍රී ලංකා පිලේ මුල් පෙළ කඩුලු 4 ක් ලකුණු 21 කට බිඳ වැටුණ නමුත් ධනංජය ද සිල්වා, වනිඳු හසරංග සහ දසුන් ශානක තිදෙනා එක්ව සිය කණ්ඩායම ලකුණු 240 සීමාවට ඇදගෙන ගියහ.
පළමු තරගයේ කෝඩුකාරයන් වූ ධනංජය ලක්ෂාන් සහ ප්‍රවීන් ජයවික්‍රම දෙදෙනාම ඉවත තබා පිතිකරු අංශය ශක්තිමත් කළ ශ්‍රී ලංකා කණ්ඩායමට අවිශ්ක ප්‍රනාන්දු සහ ධනංජය ද සිල්වා කැඳවා තිබිණ. එංගලන්ත කණ්ඩායමේත් වෙනස් කම් දෙකක් කළේ ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලිය පුරාම දස්කම් දැක්වූ ලයාම් ලිවිංග්ස්ටන් සහ පළමු එක්දින තරගයේදී ලකුණු 18 කට කඩුලු 4 ක් දවාගනිමින් තරගයේ වීරයා වූ ක්‍රිස් වෝක්ස් ඉවත තබමිනි.
එහෙත් වෙනසකට තිබුණේ පළමු තරගයේද ක්‍රිස් වෝක්ස් කළ දේ අද තරගයේදී සෑම් කරන් කිරීමයි.
මුහුණ දුන් දෙවැනි පන්දුවේදීම කුසල් පෙරේරා දැවී ගිය අතර පන්දු දෙකකට පසුව අවිශ්ක ප්‍රනාන්දුත් ඒ ආකාරයටම දැවී ගියේය. ඕවර 2 ක් ඇතුළත ශ්‍රී ලංකා පිලේ විනිසුරු තීරණ විමසීමේ අවස්ථා දෙකම නිරපරාදේ වීසි කර දමනු ලැබිණ.
වමත් වේග පන්දු යවන්නා වන සෑම් කරන්, ඕවර දෙකකදී යැවූ පන්දු 6 ක් ඇතුළත ශ්‍රී ලංකා පිතිකරුවෝ තිදෙනකුම ආපසු ක්‍රීඩාගාරයට යැවූයේය. මුල්ම කඩුලු තුනේදීම දැකගත හැකිවූ පොදු ලක්‍ෂණය වූයේ පිතිහරඹ තාක්‍ෂණයේ තිබූ අතිශය දුර්වල තත්ත්වයයි. වමත් වේග පන්දු යවන්නකු හමුවේ නව පන්දුවට මුහුණ දෙන ආකාරය සම්බන්ධ මූලධර්මවත් මේ පිතිකරුවන් නොහඳුනන ගානය.
කෙසේ වෙතත් ධනංජය ද සිල්වා සහ වනිඳු හසරංග ලකුණු රැස්කිරීමේ බර කරට ගත්හ. ලකුණු 65 ක සම්බන්ධතාවකට පසුව අනගි මෙහෙවරක නිරත වූ වනිඳු හසරංග ලකුණු 26 කට දැවී ගියේය. ඉදිරි පෙළ පිතිකරුවන් පස් දෙනෙකුම දැවී ගියද ධනංජය ද සිල්වා තනිවම සටන ගෙන ගියේය. පසුව දසුන් ශානකද සහායට පැමිණි හෙයින් ලකුණු 200 සීමාව පැනගත හැකිවිය.
එක්දින ශතකයක් වෙනුවෙන් අත්පොළසන් දෙන්නට සූදානමින් සිටි ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු සුන්වූයේ ඩේවිඩ් විලී තවත් කෙටි පන්දුවකින් ධනංජය ද සිල්වාගේ ඉනිම අවසන් කළ බැවිනි. මුහුණ දුන් පන්දු 91 කින් 13 ක් හතරේ සීමාව යැවූ ධනංජයගේ අවසන් පහරින් පන්දුව බලාපොරොත්තු වූවාට වඩා ඉහළ ගිය බැවින් එය උඩපන්දුවක් බවට පරිවර්තනය විය.
අවසන් ඕවර 10 දී බර දරා ගනිමින් සිටි දසුන් ශානක ලකුණු වේගය වැඩකර ගැනීමේ උත්සාහයේදී දැවී ගියේය.
චාමික කරුණාරත්න දවාගනිමින්, සිය ප්‍රාන්ත ක්‍රීඩා සමාජ පිටියේදීම (ලන්ඩන් ඕවල්) සෑම් කරන් කඩුලු 5 ක් දවාගත්තේය. එය කරන්ගේ සෑම් කරන්ගේ හොඳම එක්දින පන්දු යැවීමද විය. සිම්බාබ්වේ පිල වෙනුවෙන් ක්‍රීඩා කළ තම සීයාගේත් (පැට්‍රික් කරන්) සහ පියාගේත් (කෙවින් කරන්) අඩිපාරේ යන සෑම්ගේ සහෝදරයාත් (ටොම් කරන්) අද තරගයේදී එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.