Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තය 3-0 කින් පාකිස්තානය පරදවයි

එංගලන්තය 3-0 කින් පාකිස්තානය පරදවයි

editorial - 2021 ජුලි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව අද (14 වැනිදා) බර්මින්හැම්හි එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කළ සත්කාරක එංගලන්තය, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 332 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායම ඕවර 48 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. ලකුණු 165 කට කඩුලු 5 ක් දැවී තිබියදී හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 129 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ජේම්ස් වින්ස් (102) සහ ලුවිස් ග්‍රෙගරි (77) එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ.  

පන්දු 95 කදී ලබාගත් වින්ස්ගේ මංගල එක්දින ශතකය හතරේ පහර 11 කින් සමන්විත වූ අතර පන්දු 69 කදී ලබාගත් ග්‍රෙගරිගේ මංගල එක්දින අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය. ආරම්භක පිතිකරු පිලිප් සෝල්ට් හතරේ පහර 7 ක් සමග ලකුණු 37 ක්ද, සැක් ක්‍රොව්ලි හතරේ පහර 7 ක් සමග ලකුණු 39 ක්ද, නායක බෙන් ස්ටෝක්ස් හයේ පහරක් සහ හතරේ පහර ක් සමග ලකුණු 32 ක්ද රැස්කරමින් එංගලන්ත ඉනිම ශක්තිමත් කළහ.

පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධානතම පන්දු යවන්නා වන ශහීන් අෆ්රිඩිගේ ඕවර 10 තුළදී එක් කඩුල්ලක් හෝ ලබා නොදෙමින් ලකුණු 78 ක් රැස්කිරීමට එංගලන්ත පිතිකරුවෝ සමත් වූහ. සෙසු පාකිස්තාන පන්දු යවන්නන්ද දැඩි ලෙස පහර කෑමකට ලක්වෙද්දී ලකුණු 65 කට කඩුලු 4 ක් බිඳහෙළීමට හාරිස් රවුෆ් සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ඕවර 50 ක් අවසාන‍යේ කඩුලු 9 ක් දැවී ලකුණු 331 ක් ලබාගත් අතර එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ නායක බාබර් අසාම් පන්දු 139 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 14 ක් සමග ලකුණු 158 ක් රැස්කළේය. එය අසාම්ගේ 14 වැනි ශතකය මෙන්ම එක්දින තරගයකදී ඔහු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවද විය.

එහිදී ආරම්භක පිතිකරු ඉමාම් උල්හක් (56) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 92 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අසාම්, ඉන් නොනැවතී රිස්වාන් ඛාන් (77) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 179 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් පාකිස්තාන ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.  


පාකිස්තානය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 331
(ඉමාම් උල්හක් 56, බාබර් අසාම් 158, රිස්වාන් ඛාන් 74, බ්‍රයිඩන් කාර්ස් 61/5, සකීබ් මොහොමඩ් 60/3)

එංගලන්තය - ඕවර 48 කදී කඩුලු 7 ක් දැවී 332  
(පිලිප් සෝල්ට් 37, සැක් ක්‍රොව්ලි 39, ජේම්ස් වින්ස් 102, බෙන් ස්ටෝක්ස් 32, ලුවිස් ග්‍රෙගරි 77, ක්‍රෙග් ඕවර්ටන් නොදැවී 18, හාරිස් රවුෆ් 65/4, ශදාබ් ඛාන් 61/2)

බාබර් අසාම්...

 

හාරිස් රවුෆ්...

 

ලුවිස් ග්‍රෙගරි සහ ජේම්ස් වින්ස්

 

බ්‍රයිඩන් කාර්ස් කඩුල්ලක් දවාගනිමින් ....

-036


අදහස් (0)

එංගලන්තය 3-0 කින් පාකිස්තානය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.