Last Update  :  2025-05-14 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්ත සංචාරයේ දුර්වලතම පිතිහරඹය

එංගලන්ත සංචාරයේ දුර්වලතම පිතිහරඹය

editorial - 2021 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 

(දමින්ද විජේසූරිය)

2021 එංගලන්ත සංචාරයේ දුර්වලතම පිතිහරඹය ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා පිතිකරුවෝ බ්‍රිස්ටල් නුවරදී අද (04 වැනිදා) පැවැති තුන්වැනි සහ අවසන් එක්දින තරගයේදී ලකුණු 166 කට දැවී ගියහ. පළමු එක්දින තරගයේදී ලකුණු 185 ක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි තරගයේදී ලකුණු 241 ක් ලබාගත් නමුත් අද තරගයේදී ශ්‍රී ලංකා පිලට ලබාගත හැකිවූයේ ලකුණු 166 ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිම අවසන් වීමෙන් පසුව වැස්ස වළාහක දෙවියන්ගේ අනුකම්පාව නැවත වරක් ශ්‍රී ලංකාවට ලැබීම හේතුවෙන් වර්ෂාව එන්න එන්නම වැඩිවිය. හතරේ සීමාවෙන් ඇතුළත වැසි දියෙන් යටවීමත් නිසා තරගය අතහැර දැමීමට තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් මහතා තීරණය කළේය. ඒ වන විටත් එංගලන්ත කණ්ඩායම 2-0 ක තරගාවලි ජයක් ලබා සිටි හෙයින් එංගලන්තයට ඇතිවූ පාඩුවක් නොවීය.

මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ තරගයක් ලෙස ලෝක කුසලාන සුපිරි ලීගයට එක්වූයේය. එබැවින් ලෝක කුසලාන සුපිරි ලීගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ ප්‍රසාද ලකුණු 5 ත් සමගින් එතෙක් ලෝක කුසලාන සුපිරි ලීගයේ පතුළටම (13 වැනි ස්ථානය) වැටී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම 11 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.
 
ඕවර 32 කට පසුව, වර්ෂාව නිසා තරගය නතර කරන විට, කඩුලු 8 ක් අහිමි කරගෙන සිටි ශ්‍රී ලංකා පිල ලබාසිටියේ ලකුණු 132 කි. යළිත් තරගය ආරම්භ වීමෙන් පසු ලකුණු 34 ක් පුවරුවට එක්වූවද එයින් ඇතිකළහැකි බලපෑමක් නොවීය. දසුන් ශානක පමණක් නොදැවී ලකුණු 48 ක් ලබාගත්තත් සෙසු පිතිකරුවන්ගෙන් ඔහුට සහයෝගයක් නොතිබිණ.

කුසල් පෙරේරාගේ දැවීයාම පාඩුවකට වඩා කණගාටුව දනවන්නකි. පිට ඉන්නෙන් එපිට පතිත වී කඩුල්ලෙන් ඉවතට ඇදෙන පන්දුවට පහරදීමේදී ඔහුගේ පා ක්‍රියාකාරීත්වයක් තිබුණේම නැත. දෙපා එකතැන තබාගෙන පිත්ත වැනීමේ අභිලාශය “ෆියර්ලස්” වුණත් එය ක්‍රිකට් නොවේ.

අන්තර්ජාතික මට්ටමේදී ක්‍රීඩකයන්ට පිතිහරඹ තාක්‍ෂණය උගැන්වීමට නොහැකි නමුත් තරගයට අදාළව පිතිහරඹ තාක්‍ෂණයේ සියුම් වෙනස්කම් කිරීමත්, ඒවා පෙන්වාදීමත් පිතිහරඹ පුහුණුකරුවාගේ කාරියකි. ඒත් වර්තමානයේ පිතිහරඹ පුහුණුකරුවා වන ග්‍රාන්ට් ෆ්ලවර් මහතාගෙන් එවැන්නක් සිදුවේද යන්න විමසිල්ලට ගතයුතු කාරණාවකි.

ලකුණු 19 දී පළමු කඩුල්ල අහිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සම්බන්ධතා සටහන් වූයේ 9ක්, 10ක්, 4 ක්, 9ක්, 21ක්, 24ක්, 29ක්, 8ක්, 28ක්  සහ 14 ක් ලෙසිනි. පිතිකරුවන් දෙදෙනකුට එක්ව ලකුණු 30 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමට නොහැකි වීම ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹ රටාව මැනවින් පහැදිළි කරන්නක් විය.

ශ්‍රී ලංකා ඉනිමේ විනාශය ආරම්භ කළේ ක්‍රිස් වෝක්ස් (28/2) සහ ඩේවිඩ් විලී (36/2) දෙදෙනාය. ඔවුන් දෙදෙනා එක්ව ලකුණු 42 ක් ඇතුළත මුල්පෙළ පිතිකරුවන් සිව් දෙනකුම අපසු ක්‍රීඩාගාරයට යැවූහ. එතැනින් ආරම්භ කළ ටොම් කරන්, ලකුණු 35 කට කඩුලු 4 ක් දවාගත්තේ අයියා - මලෝ දෙදෙනාගෙන් ඕනෑම කෙනෙක් ඕනැම අවස්ථාවකට සූදානම් බව යළිත් වරක් තහවුරු කරමිනි. ටොම්ගේ මලණුවන් වන සෑම් කරන් දෙවැනි එක්දින තරගයේදී කඩුලු 5 ක් දවාගනිමින් තරගයේ වීරයා සම්මානය දිනාගත්තේය.

ශ්‍රී ලංකා ඉනිම නිමා වීමට ඕවර 15 ක් පමණ ඉතිරිව තිබියදී වර්ෂාව පිටියට පැමිණියේය. තරගය යළි ආරම්භ කළ නොහැකි වුයේ නම් එය ශ්‍රී ලංකා පිලේ වාසියට හැරෙන්නට තිබිණ. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය දෙස අනුකම්පාවෙන් වත් නොබැලූ වැස්ස වළාහක දෙවියෝ විනාඩි කිහිපයක් පමණක් පිටිය අරක් ගැනීමෙන් පසුව ආපසු යන්නට ගියහ. තරගය නැවතත් ආරම්භ වූයේ එබැවිනි.

ඒ වන විටත් කඩුලු 4 ක් දවාගෙන සිටි ටොම් කරන්ට සිය පස්වැනි කඩුල්ල දවාගැනීමේ අවස්ථාව දීමට තරම් වැස්ස වළාහක දෙවියන් කාරුණික වූ නමුත් ඔහු එයින් ප්‍රයෝජන නොගත්තේය. එබැවින් ආපසු හැරුණු මේකුළ බි්‍රස්ටල් ක්‍රීඩාංගණයට කඩා වැදී තරගය සම්පූර්ණයෙන්ම නතර කර දැම්මේ එංගලන්ත - ශ්‍රී ලංකා තරගාවලියට නැවතීමේ තිත තබමිනි.

බ්‍රිස්ටල් නුවරදී, ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගැළවුණේය.


අදහස් (1)

එංගලන්ත සංචාරයේ දුර්වලතම පිතිහරඹය
  • Nihal Sunday, 04 July 2021 10:46 PM

    පෙර තරග 02 ටත් වැස්ස හරස් වුණා නම් ලංකාවට තව ලකුණු 10 ක් අහිමි වෙනවා.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.