Last Update  :  2025-05-10 11:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දීය ක්‍රීඩිකාවෝ පාකිස්තානය පරදවති
කාන්තා ලෝක කුසලාන - 2022

ඉන්දීය ක්‍රීඩිකාවෝ පාකිස්තානය පරදවති

editorial - 2022 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාන්තා ලෝක කුසලාන තරගාවලියේ සිවුවැනි තරගය ලෙස ඉන්දියාව සහ පාකිස්තානය අතර මවුන්ට් මන්ගනුයිහි බේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 107 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 245 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායමට රාජේෂ්වරී ගයක්වාද් ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 43 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 137 ක් පමණි.

පාකිස්තාන කාන්තා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ ආරම්භක පිතිකාරිණී සිද්‍රා අමීන් පන්දු 64 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 30 ක් රැස්කළාය. අමීන් හැර සෙසු පිතිකාරිණියන්ට ලකුණු 20 සීමාව පසුකර යෑමට ඉන්දීය පන්දු යවන්නියෝ ඉඩක් ලබා නොදුන්හ.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ රාජේෂ්වරී සිය ඕවර 10 ලකුණු 31 කට සීමා කරමින් කඩුලු 4 ක් බිඳහෙළුවාය. ජූලාන් ගෝස්වාමි සහ ස්නේහා රානා කඩුලු 2 බැගින් බිඳහෙළමින් පාකිස්තාන කාන්තා ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා රාජේෂ්වරීට අනගි සහායක් දුන්හ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 244 ක් ලබාගත්තේය. පළමු කඩුල්ල ලකුණු 4 දී බිඳවැටුණද දීප්ති ශර්මා (40) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 116 කදී ලකුණු 92 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ස්මි්‍රති මන්ධනා (52) සමත් වූවාය.
 
පන්දු 75 කට මුහුණදුන් මන්ධනා හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 47 කදී වාර්තා වූ ශර්මගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් විය. කෙසේ වුවත් මුලු ලකුණු සංඛ්‍යාව 114 ක්ව තිබියදී ඉන්දීය කණ්ඩායමේ 6 වැනි කඩුල්ලත් බිඳ වැටිණ.

ඉන් අනතුරුව පිටියේ එක්වූ ස්නේහා රානා පන්දු 48 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 53 ක්ද, පූජා වස්ත්‍රකාර් පන්දු 59 කදී හතරේ පහර 8 ක් සමග ලකුණු 67 ක්ද රැස්කරමින් ඉන්දීය කාන්තා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. ඔවුන් දෙදෙනා එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 97 කදී ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 122 කි.


ඉන්දීය කාන්තා පිල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 244
(ස්ම්‍රිති මන්ධනා 52, දීප්ති ශර්මා 40, ස්නේහා රානා නොදැවී 53, පූජා වස්ත්‍රකාර් 67, නෂ්රා සන්ධු 36/2, නිඩා ඩර් 45/2)

පාකිස්තාන කාන්තා පිල - ඕවර 43 කදී සියලු දෙනා දැවී 137
(සිද්‍රා අමීන් 30, බිස්මා මරූෆ් 15, ෆාතිමා සානා 17, ඩයනා බේග් 24, රාජේෂ්වරී ගයක්වාද් 31/4, ජූලාන් ගෝස්වාමි 26/2, ස්නේහා රානා 27/2)

-036

 

 


අදහස් (0)

ඉන්දීය ක්‍රීඩිකාවෝ පාකිස්තානය පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.