Last Update  :  2025-05-10 11:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දීය ක්‍රීඩකයෝ අණසක පතුරති
මොහාලි ටෙස්ට් තරගය

ඉන්දීය ක්‍රීඩකයෝ අණසක පතුරති

editorial - 2022 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

තම 100 වැනි ටෙස්ට් තරගයේදී ශතකයක් කරා යාමේ බලාපොරොත්තු පොදි බැඳගෙන පිටියට පිවිසි විරාට් කෝලිගේ ඉනිම ලකුණු 45 කට සීමාකළ ලසිත් ඇඹුල්දෙණිය, කෝටි සංඛ්‍යාත ඉන්දියානුවන්ගේ මුහුණු ඇඹුල්කර දැම්මේය. කෝලිගේ දැවීයාමෙන් පසුව ලකුණු 5 ඇතුළතදී හනුමා විහාරිද පිටියෙන් ඉවත් වූ නමුත් ඉන්දියානුවෝ තමන්ගේ ලකුණු ලබාගැනීමේ වේගය ඉහළින්ම තබාගත්හ.

ඒ අනුව මොහාලි නුවරදී අද (4 වැනිදා) ආරම්භ වූ පළමු වැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට කඩුලු 6 ක් දැවී ලකුණු 357 ක් ලබාගෙන සිටි ඉන්දියානුවෝ, ඕවරයක් සඳහා ලකුණු 4.2 ක වේගයක් රඳවාගෙන සිටියහ.

විරාට් කෝලි පිටියේ සිටියදී ලකුණු වේගය 4.00 ක් පමණ වූවත් ලකුණු 5 ක් ඇතුළත කෝලි සහ හනුමා විහාරි දෙදෙනාම දැවී යාම නිසා එතැනින් පසුව ලකුණු වේගය මඳක් අඩාල විය. කෙසේ වුවත් වේගවත් පිතිහරඹයක නිරත වූ රිෂාබ් පාන්ට් හයේ පහර 4 ක් සහ හතරේ පහර 9 ක් සමග පන්දු 97 කදී ලකුණු 96 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු වේගය යළිත් ඉහළ දැමුවේය.

හයවැනි කඩුල්ල වෙනුවෙන් රවින්ද්‍ර ජදේජා සමග එක්ව ලකුණු 104 ක සම්බන්ධතාවක් ගොඩනැගූ පාන්ට් දැවී ගියේ සුරංග ලක්මාල්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙනි. ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් පිටියෙන් ඉවත්ව යන විට ශ්‍රෙයාස් අයියර් ලබා සිටියේ ලකුණු 27 ක් පමණි. පළමු දිනය සඳහා තරගය නතර කරන විට රවින්ද්‍ර ජදේජා හතරේ පහර 5 ක් සමග ලකුණු 45 ක්ද, රවිචන්ද්‍රන් අෂ්වින් හතරේ පහර 2 ක් සමග ලකුණු 10 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.

ටෙස්ට් තරගයක ආරම්භක හෝරා දෙකේදී ලකුණු 100 කඩයිම පසුකිරීම යනු පළමුවෙන් පන්දුවට පහර දෙන කණ්ඩායමේ වාසිය සඳහා වන යෝධ පිම්මකි. ඉන්දියානුවන් එම පිම්ම පහසුවෙන්ම පැනගත් අතර නව පුහුණුකරු රාහුල් ද්‍රාවිඩ් සහ නව නායක රෝහිත් ෂර්මා දෙදෙනා එක්ව, ටෙස්ට් තරග සඳහා නවතම ක්‍රමවේදයක් හඳුන්වාදීමේ උත්සාහයක නිරතව සිටින බව පෙනෙන්නට තිබේ. එනම් පළමු ඉනිමේදී වැඩි වේගයකින් ලකුණු රැස්කර, තමන්ගේ පන්දු යවන්නන්ට, කඩුලු 20 ක් දවාගැනීම සඳහා වඩාත් දිගු කාලයක් ඉතිරි කිරීමයි.

තරගයේ මුල්දිනයේ මුල් කොටසේදීම ලකුණු 4.00 ඉක්මවමින් ලකුණු රැස්කිරීමේ වේගයක් පවත්වාගෙන යාම එහි ආරම්භයයි.

දශක දෙකකට පමණ ඉහතදී ටෙස්ට් තරග සඳහා මෙය ඉතාමත් සාර්ථක ක්‍රමවේදයක් වූ අතර ස්ටීව් වෝගේ ඕස්ටේ්‍රලියානු කණ්ඩායමත් (1999 - 2001 අතර කාලයේදී එක දිගට ටෙස්ට් ජයග්‍රහණ 16 යි) සනත් ජයසූරියගේ ශ්‍රී ලංකා කණ්ඩායමත් (2001 - 2002 අතර කාලයේදී එක දිගට ටෙස්ට් ජයග්‍රහණ 9 යි) මෙම ක්‍රමවේදයෙන් අති සාර්ථක ප්‍රතිඵල ලබාගත්හ.

තරගයේ පළමු දිනයේ තේ පානයට පෙර ලකුණු 199 ක් ලබාගනිමින් ඉන්දියානුවන් මේ සූදානම් වන්නේ එවැනිම ගමනකටද යන්න බලාසිටීම වටී.

ආරම්භක පිතිකරුවන් දෙදෙනාම සිය අර්ධ ශතක පෙනි පෙනී දැවීගිය නමුත් හනුමා විහාරි සහ හිටපු නායක විරාට් කෝලි අවශ්‍ය ලකුණු වේගය පවත්වාගෙන ගියහ. 100 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන විරාට් කෝලි දිවා ආහාරය වන විට නොදැවී ලකුණු 15 ක් ලබා සිටියේය.

මොහාලි පිටියේ සිටි සීමිත නරඹන්නන් පිරිස සිය අසුන්වලින් නැඟිට අත්පොළසන් දෙද්දී පිටියට පිවිසි කෝලිගේ ඉලක්කය වී තිබුණේ ලෝකයේ විශිෂ්ටතම පිතිකරුවන්ගේ නාමාවලියට තමන්ගේ නමත් එකතු කරගැනීමයි. විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් හතරේ සීමාවට යැවූ කෝලිගේ මුල්ම හතරේ පහර වෙනුවෙන් අඩක් පිරුණු මොහාලි පිටියේ  සිටි ප්‍රේක්‍ෂකයෝ මහත් උද්දාමයෙන් යුතුව ඔල්වරසන් දුන්හ.

දිවා ආහාරයෙන් පසුවද ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් සිටි කෝලි අපේක්‍ෂා නොකළ මොහොතකදී ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් කෝලිගේ කඩුල්ලට කඩාවැදී ඔහුගේ පිට ඉන්න සෙළවූයේ කෝටි සංඛ්‍යාත ඉන්දියානුවන්ගේ හදවත් මෙහොතකට නතර කරමිනි. පිටියේ රැඳීසිටි කාලය ඇතුළත පන්දු 76 කට මුහුණ දුන් ඉන්දීය පිලේ හිටපු නායකයා, ඒවායින් 5 ක් හතරේ සීමාවට පිටත්කර හැරියේය.

කොලින් කවුඩ්රි, ජාවෙඩ් මියැන්ඩාඩ්, ඉන්සමාම් උල් හක්, රිකී පොන්ටිං, ගෝර්ඩ්න් ග්‍රිනිජ් සහ ජෝ රූට් තමන්ගේ 100 වැනි ටෙස්ට් තරගවලදී ශතකයක් ලබාගත්හ. ඔවුන් අතුරින් රිකී පොන්ටිං තමන්ගේ 100 වැනි ටෙස්ට් තරගයේ ඉනිම දෙකේදීම ශතක දෙකක් (120 සහ නොදැවී 143)  ලබාගත් අතර ජෝ රූට් තමන්ගේ 100 වැනි තරගයේදී ද්විත්ව ශතකයක් (ඉන්දියාවට එරෙහිව චෙන්නායි නුවරදී ලකුණු 218 යි) ලබාගත්තේය. කෝලිගේ අරමුණ වූයේත් මෙම උසස් පිතිකරුවන්ගේ සමාජයට එක්වීම වූවත් ලසිත් ඇඹුල්දෙණිය ඔහුගේ බලාපොරොත්තු සුන්කර දැම්මේය.

ඉන්දීය ටෙස්ට් කණ්ඩායම මෙහෙයවන පළමු තරගයේදීම කාසියේ වාසිය දිනාගත් රෝහිත් ෂර්මා කිසිදු පැකිළීමකින් තොරවම පළමුවෙන් ලකුණු රැස්කිරීම තෝරා ගත්තේය.

පැයට කිලෝ මීටර 140 ඉක්මවන වේගයකින් පන්දු යවමින් සිටි ළහිරු කුමාර හමුවේ පිට පිටම හතරේ පහර දෙකක් ගැසූ ඉන්දීය නායකයා, ළහිරුගේ තවත් කෙටි පන්දුවකට ගැසූ පුල් පහරක් වැරදී යාමෙන් ලෝන්ග් ලෙග් හි සිටි සුරංග ලක්මාල්ට උඩපන්දුවක් දුන්නේය.

නායකයාගේ දැවීයාමෙන් පසුව මයන්ක් අගර්වාල් සහ හනුමා විහාරි එක්ව ඉනිම ඉදිරියට ගෙන යද්දී ලසිත් ඇඹුල්දෙණිය විසින් දෙදෙනා අතර සම්බන්ධතාව බිඳ දමන ලදි.


අදහස් (0)

ඉන්දීය ක්‍රීඩකයෝ අණසක පතුරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.