Last Update  :  2025-10-14 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියාව කඩුලු 2 ට 318 යි
නවදිල්ලි ටෙස්ට් තරගය

ඉන්දියාව කඩුලු 2 ට 318 යි

editorial - 2025 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තම 7 වැනි ටෙස්ට් ශතකය ලබාගත් යශස්වි ජයිස්වාල් වර්තමානයේ හොඳම ටෙස්ට් පිතිකරුවන් අතරට එක්වෙද්දී සායි සුදර්ශන් ලකුණු 87 ක් ලබා ගනිමින් ඉන්දියාවේ අංක 3 පිතිකරුවා වීම සඳහා පවතින පුරප්පාඩුවට තම සුදුසුකම් ඉදිරිපත් කළේය.

මේ අතරවාරයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව නවදිල්ලියේ ෆිරෝෂ් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වන විට ඉන්දියානුවෝ සිය පළමු ඉනිම සඳහා කඩුලු 2 ක් දැවී ලකුණු 318 ක් ලබා සිටියහ.

රෝහිත් ෂර්මාගෙන් පසුව ඉන්දීය නායකත්වයට පත්වූ ෂුබ්මන් ගිල්, ටෙස්ට් තරග 7 කට පසුව සිය මුල්ම කාසියේ වාසිය දිනාගත් අතර කිසිදු පැකිළීමකින් තොරවම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නෝ හොඳ පන්දු යැවීමක නිරත වූවත් දිනය පුරා යැවූ පන්දු 540 න් කඩුලු දවාගැනීමට තරම් සාර්ථක පන්දු තිබුණේ 2 ක් පමණි. දිවා ආහාරයත් - තේ පානයත් අතර කඩුල්ලක් දවාගැනීමට අවසර නොදුන් ඉන්දීය පිතිකරුවෝ, කොදෙව් පන්දු යවන්නන්ගෙන් ලකුණු 126 ක් උදුරා ගත්හ.

ජයිස්වාල් ඔහුට යැවූ පන්දු වලට නිසි ප්‍රතිචාර දැක්වීය. ඔහු පළමු පැයක කාලයේදී විමසිලිමත් වූ අතර, පසුව තමන්ට ලැබුණු දුර්වල පන්දු වලින් නිසි ප්‍රයෝජන ගත්තේය. ඔහු ලකුණු 93 ක් ලබා සිටියදී ලකුණු ලබාගත හැකි දුර්වල පන්දු කිහිපයක්ම ලැබුණු නමුත් පිතිකරුවා තමාගේ ශතකය ගැන වැඩ අවධානයක් යොමු කරමින් ලකුණු ලබාගැනීමට උත්සුක නොවීය.

යශස්වී  ජයිස්වාල් දැන් වයස අවුරුදු 24 ට අඩු ආරම්භක පිතිකරුවෙකු වශයෙන් වැඩිම ටෙස්ට් ශතක සංඛ්‍යාවක් ලබාගත් පිතිකරුවා ලෙසින් ග්‍රේම් ස්මිත් සමඟ කරට කර සිටී. සියලුම ඉන්දීය පිතිකරුවන් අතරින්, 24 වන උපන්දිනයට පෙර ජයිස්වාල්ට වැඩියෙන් ශතක ලබා සිටියේ

සචින් තෙන්ඩුල්කාර් පමණකි. එහි ඇති වැදගත්කම වන්නේ ජයිස්වාල්ගේ මෙම ශතක 7 න් 5 වතාවකදීම ඔහු ලකුණු 150 ඉක්මවා යාමයි.

ජයිස්වාල් සමගින් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 193 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ සායි සුදර්ශන් (87) ද 23 හැවිරිදි ක්‍රීඩකයෙකි. සායි සුදර්ශන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා තෝරාගත්තේ ඔහුගේ පළමු පෙළ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 40.00 ඉක්මවා තිබුණ බැවිනි.

ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවේ ශක්තිය මොන තරම් ගැඹුරට විහිදී ඇත්ද යන්න එයින්ම වටහාගත හැකිය.

මෙම තරගය පැවැත්වෙන දිල්ලියේ අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී (කලින් ෆෙරෝෂා කොට්ලා ක්‍රීඩාංගණය) ඉන්දියානුවන් වසර 38 කින් ටෙස්ට් තරගයක් පරාජය වී නැත.

 

ඉන්දියාව - පළමු ඉනිම කඩුලු 2 ට 318 යි
(යශස්වී ජයිස්වාල් නොදැවී 173 යි, ලෝකේෂ් රාහුල් 38, සායි සුදර්ශන් 87, ෂුබ්මන් ගිල් නොදැවී 20, ජොමෙල් වැරිකන් 60/2)

- 213


අදහස් (0)

ඉන්දියාව කඩුලු 2 ට 318 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.