Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියානුවෝ දින 3 කින් එංගලන්තය පරදවති
ධරම්ශාලා ටෙස්ට් තරගය

ඉන්දියානුවෝ දින 3 කින් එංගලන්තය පරදවති

editorial - 2024 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ප්‍රංශ පුවත් සේවය ඇසුරිනි  - සැකසුම : දමින්ද විජේසූරිය)

රවිචන්ද්‍රන් අශ්වින්, තම 100 වැනි ටෙස්ට් තරගයේදීත් ඉනිමකදී කඩුලු 5 ක් දවාගනිද්දී එංගලන්ත වේග පන්දු යවන්නා වූ ජේම්ස් ඇන්ඩසන් තමන්ගේ 700 වැනි ටෙස්ට් කඩුල්ල දවාගත්තේය. තනි පුද්ගල දස්කම් ඉස්මතු වෙද්දීත්, තමන්ගේ මූලික කාර්යය අමතක නොකළ ඉන්දියානුවෝ, ධරම්ශාලා නුවරදී පැවැති පස්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී, දින තුනක් ඇතුළත, එංගලන්තය ඉනිමකින් සහ ලකුණු 64 කින් පරාජය කළහ. 

තරගයේ තුන්වැනි දිනය වූ සෙනසුරාදා (9 වැනිදා) නිමාවූ මෙම තරගයත් සමගින් ඉන්දියානුවෝ ටෙස්ට් තරගාවලිය 4-1 ක් ලෙසින් ජයගත්හ. එංගලන්ත පිලට ජයගත හැකිවූයේ හයිද්‍රාබාද් නුවරදී පැවැති තරගාවලියේ පළමු තරගය පමණි. 

ඉන්දියානුවන් සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 477 ක් ලබාගත් අතර රවිචන්ද්‍රන් අශ්වින්ගේ (77/5) පන්දු යැවීම හමුවේ එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 195 කින් අවසන් විය. සෙනසුරාදා දිවා ආහාරය වන විටත් එංගලන්ත දෙවැනි ඉනිමේ කඩුලු 5 ක් ලකුණු 103 කට බිඳ වැටී තිබිණ. ජස්ප්‍රීට් බුම්රා (38/2) සහ කුල්දීප් යාදව් (40/2) තවත් කඩුලු 4 කට වගකියූහ. 

“තරගයත් දිනලා...කඩුලුත් ලැබිලා... පන්දු යවන්නකුට සතුටු වෙන්න ඊටත් වඩා මොනවාද ?” යයි රවිචන්ද්‍රන් අශ්වින් තරගයෙන් පසුව පැවසීය. 

මෙම තරගයේදී නැවත වරක් බෙන් ස්ටෝක්ස් දවාගත් අශ්වින් එංගලන්ත නායකයාව ටෙස්ට් තරග වලදී 13 වරක් දවාගෙන තිබේ. 

තම 100 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ජොනී බෙයාර්ස්ටෝ උත්සාහ කළේ අශ්වින්ට පහර දෙමින් ඔහුව පන්දු යැවීමෙන් ඉවතට ඇද දැමීමටයි. අශ්වින් හමුවේ හයේ පහර 3 ක් ගැසූ බෙයාර්ස්ටෝ, පන්දු 31 කට පසුව කුල්දීප් යාදව්ට ගොදුරු විය. එංගලන්තය වෙනුවෙන් කඩුල්ලේ එල්ලී සිටි ජෝ රූට් (84) දැවී ගියේ අවසන් පිතිකරුවා ලෙසිනි. ඉනිම දෙකේදීම කඩුලු 7 ක් දවාගනිමින්, අගනා ලකුණු 30 ක් ද ලබාගත් කුල්දීප් යාදව් තරගයේ වීරයා විය. 

වසර 2011 දී ටෙස්ට් බෞතීස්මය ලැබීමෙන් පසුව 36 වැනි වතාවටත් ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් දවාගත් රවිචන්ද්‍රන් අශ්වින් මෙම තරගයේදීත් කඩුලු 9 ක් දවාගත්තේ තමන්ගේ කඩුලු එකතුව 516 ක් දක්වා ඉහළ දමමිනි. 

ඉන්දීය කණ්ඩායමේ කෙරුම්කාරයන් වූ විරාට් කෝලි සහ ලෝකේෂ් රාහුල් මෙම තරගාවලියේදී ක්‍රීඩා නොකළහ. කෝලි තම දෙවැනි දරුවාගේ උපත වෙනුවෙන් නිවාඩු ලබා සිටි අතර ලෝකේෂ් රාහුල් තුවාල ලබා සිටියේය. එහෙත් තරුණ ක්‍රීඩකයෝ ඉන්දියාව වෙනුවෙන් නැඟී සිටියහ. 

තවමත් 22 හැවිරිදි ක්‍රීඩකයකු වන යශස්වී ජයිස්වාල්, තරගවලිය අවසන් කළේ ලකුණු 712 ක් ලබාගනිමිනි. විශාකාපට්නම් (209) සහ රාජ්කොට් (නොදැවී 21) නගරවල පැවැති තරග දෙකේදීම ජයිස්වාල් ද්විත්ව ශතක ලබාගත්තේය. ඔහුට අමතරව තරුණ පිතිකරුවන් වන සර්ෆ්‍රාස් ඛාන්, දෙව්දූත් පඩික්කාල්, ධූර්යුව් ජූරල් සහ වේග පන්දු යවන ආකාශ් දීප් තරගාවලිය පුරාම සාර්ථක දස්කම් දැක්වූහ. 


එංගලන්තය - පළමු ඉනිම 218 යි
(සැක් ක්‍රෝලි 79, බෙන් ඩකට් 27, ඔලී පෝප් 11, ජෝ රූට් 26, ජොනී බෙයාර්ස්ටෝ 29, බෙන් ෆෝක්ස් 24, ෂොයිබ් බෂීර් නොදැවී 11, රවිචන්ද්‍රන් අශ්වින 51/4, කුල්දීප් යාදව් 72/5)

ඉන්දියාව - පළමු ඉනිම 477 යි
(යශස්වී ජයිස්වාල් 57, රෝහිත් ෂර්මා 103, ෂුබ්මන් ගිල් 110, දෙව්දූත් පඩික්කාල් 65, සර්ෆරාස් ඛාන් 56, රවීන්ද්‍ර ජදේජා 15, ධූර්වි ජූරල් 15, කුල්දීප් යාදව් 30, ජස්ප්‍රීට් බුම්රා 20, ජේම්ස් ඇන්ඩසන් 60/2, ටොම් හාට්ලි 126/2, ෂොයිබ් බෂීර් 173/5)

එංගලන්තය - දෙවැනි ඉනිම 195 යි
(ඔලී පෝප් 19, ජෝ රූට් 84, ජොනී බෙයාර්ස්ටෝ 39, ටොම් හාට්ලි 20, ෂොයිබ් බෂීර් 13, ජස්ප්‍රීට් බුම්රා 38/2, රවිචන්ද්‍රන් අශ්වින් 77/5, කුල්දීප් යාදව් 40/2)


අදහස් (0)

ඉන්දියානුවෝ දින 3 කින් එංගලන්තය පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.