Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියානුවෝ තරම පෙන්වති

ඉන්දියානුවෝ තරම පෙන්වති

editorial - 2021 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

 

ශ්‍රී ලංකාවට එව්වේ දෙවැනි පෙළ ඉන්දීය කණ්ඩායමක් යැයි ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩකයන් නෝක්කාඩු කීවද තමන්ගේ තරම කුමක්ද යන්න මොනවට පැහැදිළි කළ ෂිකාර් ධවාන් ඇතුළු ඉන්දීය ක්‍රීඩකයෝ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (18 වැනිදා) පැවැති පළමු එක්දින තරගයේදී කඩුලු 7 ක අති විශිෂ්ට ජයක් ලබාගත්හ. තමන්ට එරෙහිව කී අවලාද වලට නිසි පිළිතුරු දුන් ඉන්දීය පිතිකරුවෝ ලකුණු 263 ක ඉලක්කය පසුකර ගියේ ඕවර 13.2 ක් හෙවත් පන්දු 80 ක් ඉතිරිව තබාගනිමිනි.

ඉන්දියාව වෙනුවෙන් අලංකාර පිතිහරඹයක නිරත වූ කෝඩුකාර ඉෂාන් කිෂාන් (59) සහ නායක ෂිකාර් ධවාන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට රිසි සේ පහර දෙමින් ඉන්දීය කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියහ. ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නන් හත් දෙනකු යොදවා ගත් නමුත් ඉන්දීය පිතිකරුවන් පාලනය කිරීම උගහට විය. ධනංජය ද සිල්වා කඩුලු 2 ක් දවාගත්තද ඔහුගේ ඕවර 5 දී ඉන්දීය පිතිකරුවෝ ලකුණු 49 ක් උදුරා ගත්හ.

මෙම තරගාවලිය අවසන් මොහොතේදී ලෝක කුසලන සුපිරි ලීගයට ඇතුළත් කරන ලද බැවින් ඉන්දීය පිතිකරුවෝ හැකි උපරිම ලකුණු වේගයක් ලබාගැනීමට උත්සාහ කළහ.

පසුපෙළ පිතිකරුවන් වූ චාමික කරුණාරත්න සහ දුෂ්මන්ත චමීර දෙදෙනාගේ සටන්කාමී පිතිහරඹය නිසා පහසුවෙන්ම ලකුණු 250 සීමාව ඉක්මවා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරගයෙන් ජයගැනීම සඳහා ලකුණු 263 ක අභියෝගයක් ඉන්දීය පිලට එල්ල කළේය.

චාමික කරුණාරත්න සහ චමීර දෙදෙනා 9 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 18 ක් තුළදී ලකුණු 40 ක් එකතු කළහ.

ශ්‍රී ලංකාවේ දැනට සිටින පිතිකරුවන් අතර හොඳම 8 දෙනා එළියේ තබා කළ මෙම පිතිහරඹය තරුණ ක්‍රීඩකයන්ගේ ධෛර්යයට කදිම සාක්ෂියක් විය. ඒ අතරවාරයේදී තුන් ඉරියව් ක්‍රීඩකයකු වශයෙන් තමන්ට දීප්තිමත් අනාගතයකට හිමිකම් කිව හැකිබව චාමික කරුණාරත්න මැනවින් සනාථ කළේය.

එංගලන්ත සංචාරයේදී මෙන් නොව, අද තරගයේදී සියලුම පිතිකිරුවෝ තම තමන්ට හැකි පමණින් කණ්ඩායම වෙනුවෙන් දායකත්වය දුන්හ. කණ්ඩායමේ 11 දෙනාගෙන් ලකුණු 10 ක් ලබාගත නොහැකි වූයේ පිතිකරුවන් දෙදෙනකුට පමණි.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහරදීම තෝරා ගත්තේ බොහෝ සාධක සැලකිල්ලට ගනිමිනි. වසර දෙකකට ආසන්න කාලයක් තරගයක් නොපැවැත්වුණු ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පළමුවෙන් පන්දුවට පහර දෙන කණ්ඩායමට ඇති වාසිදායක තත්ත්වයත්, රාත්‍රියේ පින්න ඇතිවීමත් සමගම පන්දුව ග්‍රහණය කරගැනීමේ අපහසුතාවත් දසුන්ගේ සැලකිල්ලට ලක්වූ ප්‍රබලතම කරුණු විය.

ශ්‍රී ලංකාවේ 201 වැනි එක්දින ක්‍රීඩකයා ලෙසින් එක්දින හිස්වැස්ම හිමිකරගත් භානුක රාජපක්‍ෂ සිය එක්දින ලකුණු ලබාගැනීම ආරම්භ කළේ යුෂ්වේන්ද්‍ර චාහල්ට ගැසූ අලංකාර හයේ පහරකිනි. පන්දු 20 කින් ලකුණු 22 ක් ලබා සිටි භානුක රාජපක්‍ෂගේ සපත්තුවේ පන්දුව වැදුණු අවස්ථාවකදී පන්දු යැවූ කුල්දිප් යාදව් ඉල්ලීමක් කළද එය කඩුල්ල මුවා කිරීමේ අවස්ථාවක් නොවූ බව විනිසුරු රවීන්ද්‍ර විමලසිරි මහතා තීරණය කළේය. ඉන්දීය ක්‍රීඩකයෝ එය තුන්වැනි විනිසුරුවරයා වෙත යොමුකළ නමුත් පන්දුව වදින අවස්ථාවේදී අවසාන තීරණය පිටියේ විනිසුරුවරයා සතු වූයෙන් භානුක ගැලවිණ. එසේ වුවත් හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් පන්දු 22 කදී ලකුණු 24 ක් ලබාගත් භානුකට තිබූ කලබලය නිසාම ඔහු දුර්වල පහරකින් කඩුල්ල අහිමි කරගත්තේය.

කුල්දීප් යාදව්ගේ පන්දු 4 ක් ඇතුළතදී මිනෝද් භානුක සහ භානුක රාජපක්ෂ දෙදෙනාම දැවී ගියහ. ඒ සමගම කඩුල්ලක් දැවී ලකුණු 85 ක්ව තිබූ ලකුණු පුවරුව කඩුලු 3 ක් දැවී 89 ක් ලෙසින් වෙනස් විය. සසළ වූ ශ්‍රී ලංකා ඉනිම පිළිසකර කිරීම ධනංජය ද සිල්වා සහ චරිත් අසලංක දෙදෙනා ආරම්භ කළ නමුත් බුවනේෂ්වර් කුමාර්ගේ දක්‍ෂ පන්දු රැකීමකින් ධනංජයටත් කඩුල්ල අහිමි විය.

නායක දසුන් ශානක සමග එක්වූ චරිත් අසලංක පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49 ක සම්බන්ධතාවක් ගොඩනංවමින් ශ්‍රී ලංකා පිල ඉදිරියට තල්ලුකරගෙන ගියේය.

තරගයේ 21 වැනි ඕවරයේ සිට 30 වැනි ඕවරය යැවූ පන්දු 60 දී පන්දුව හතරේ සීමාව පසුකර ගියේ එකම වතාවක් පමණි. එම පන්දු 60 න් පන්දු 35 ක් නිලකුණු පන්දු වූ අතර තනි ලකුණු 20 ක් සහ ද්විත්ව ලකුණු 2 ක්,  ලකුණු 3 ක් ලබාගත් එක අවස්ථාවක් එහි තිබිණ. අනෙක් පන්දුවේදී ධනංජය ද සිල්වා දැවී ගියේය.

ඕවර 3 ක් ඉතිරිව තිබියදී 8 වැනි කඩුල්ලත් දැවී ගිය නමුත් බර කර තබාගත් චාමික කරුණාරත්න පන්දු 35 කින් ලකුණු 43 ක් ලබාගත්තේ චිත්තාකර්ශනීය හයේ පහර දෙකකින් අනෙක් අන්තයේ සිටි දුෂ්මන්ත චමීරත් දිරිගන්වමිනි.

ඉන්දියාව වෙනුවෙන් සාර්ථකම පන්දු යැවීම කළ කෘනාල් පාණ්ඩ්‍යා සිය ඕවර 10 ලකුණු 26 කට සීමාකරද්දී, කණ්ඩායමේ සිටින පළපුරුදුම පන්දු යවන්නා වන බුවනේෂ්වර් කුමාර්ගේ ඕවර 9 කින් ලකුණු 63 ක් උදුරා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත් වූහ.

 


අදහස් (0)

ඉන්දියානුවෝ තරම පෙන්වති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.