Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඇෆ්ඝනිස්ථානුවෝ ජාම බේරාගනිති
විස්සයි-20 තරගාවලිය

ඇෆ්ඝනිස්ථානුවෝ ජාම බේරාගනිති

editorial - 2024 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ සිට..)

 

උඩපන්දු දෙකක්ම ගිළිහී යාමෙන් වාසනාව ලද රමනුල්ලා ගුර්බාස් අගනා අර්ධ ශතකයක් (70) ලබාගනිමින් රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (21 වැනිදා) පැවැති තුන්වැනි සහ අවසන් විස්සයි-20 තරගයේදී ලකුණු 03 ක ජයක් කරා ඇෆ්ඝනිස්ථානු පිල කැඳවාගෙන ගියේය. ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 ආකෘති තුනේදිම තරග 7 කට සහභාගිවූ ඇෆ්ඝනිස්ථානුවෝ ශ්‍රී ලංකා සංචාරයේදී ලබාගත් එකම ජයග්‍රහණය මෙයයි. 

අද රාත්‍රීයේදී ලකුණු 210 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම, අති විශිෂ්ට සටනකින් පසුව, ලකුණු 206 දී නතර විය. එය ශ්‍රී ලංකා කණ්ඩායමක්, විස්සයි-20 තරගයකදී, දෙවැනි වර පන්දුවට පහර දීමේදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා පොතට එක්විය. ඇෆ්ඝනිස්ථානුවන් මෙම තරගය ජයගත් නමුත් තරග 3 කින් සමන්විත තරගාවලිය 2-1 ක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ජයගන්නා ලදි. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් අවසන් ඕවර දෙකේදී ලකුණු 36 ක් අවශ්‍යව තිබිණ. අස්මතුල්ලා ඔමර්සායි යැවූ 19 වැනි ඕවරයේදී ලකුණු 17 ක් ලබාගත් ශ්‍රී ලංකා පිලට අවසන් ඕවරයේදී තවත් ලකුණු 19 ක් අවශ්‍ය විය. එහි පළමු පන්දු 3 න් ලකුණු 08 ක් ලබාගත් කමිඳු මෙන්ඩිස්ට ඊළගට ලැබුණේ උරහිසට ඉහළින් ගිය වේග පන්දුවකි. එය නිපන්දුවක් වනු ඇතැයි සියල්ලෝම පා ඉන්න පැත්තේ විනිසුරු ලින්ඩන් හැනිබල් මහතා වෙත බැලූ නමුත් විනිසුරුවරයා නොසෙල්වී සිටියේය. කමිඳු මෙන්ඩිස් ඉනිමේ අවසන් පන්දුවෙන් ලකුණු 6 ක් ලබාගත්තද ජයග්‍රහණයට ලකුණු 03 ක් මෑතින් ශ්‍රී ලංකා කණ්ඩායම නතර විය. 

තරගයෙන් පසුව නායක වනිඳු හසරංග සහ විනිසුරු හැනිබල් මහතා අතර ඒ සම්බන්ධයෙන් බහින් බස්වීමක් ඇතිවූ නමුත් පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඞ් මහතාත් ක්‍රීඩකයෝත් දෙදෙනා දෙපසට කළහ. 

20,000 කට වැඩි මිසක් අඩු නැති නරඹන්නන්ගේ ඔල්වරසන් නාදය මධ්‍යයේ වුවත්, ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට සටනක් කළ කමිඳු මෙන්ඩිස් ආපසු ක්‍රීඩාගාරයට පියමැන්නේ කණ්ඩායම ජයග්‍රහණය කරවීමට නොහැකි වූ කණස්සල්ලෙනි. පන්දු 39 කදී නොදැවී ලකුණු 65 ක් ලබාගත් වමත් පිතිකරුවාගේ ඉනිම හතරේ පහර 7 කින් සහ හයේ පහර 2 කින් සමන්විත විය. 

ඉලක්කය හඹා යාමේදී අගනා ආරම්භයක් ලබාගත් කුසල් මෙන්ඩිස් (16) සහ පැතුම් නිස්සංක (නොදැවී 60) ඕවර 6 කින් ලකුණු 64 ක් පුවරුවට දැමූහ. එහෙත් 9 වැනි ඕවරයේදී පාදයේ මස්පිඬුවක ආබාධයක් හේතුවෙන් පැතුම් නිස්සංකට පිටියෙන් ඉවත් වීමට සිදුවීම ශ්‍රී ලංකා පිලේ පරාජයට අනියම් අන්දමින් බලපෑවේය. 
පළමු තරග දෙකේදීම කාසියේ වාසිය දිනාගත් නමුත් අද තරගයේදී පන්දුවට පහර දීම තෝරාගත් ඇෆ්ඝනිස්ථානුවෝ අසීරුවකින් තොරවම ලකුණු 200 කඩයිම පසුකර ගියහ. 

ඕවර 4 කදී 50 වැනි ලකුණ පුවරුවට එක්කළ රමනුල්ලා සහ හස්රතුල්ලා සසායි (45) දෙදෙනා අතර පන්දු 44 කදී පැවැති සම්බන්ධතාව ලකුණු 88 කි. රමනුල්ලා ලකුණු 28 ක් ලබා සිටියදී අකිල ධනංජය වෙතින් ඉතාමත් පහසු උඩපන්දුවක් ගිළිහී ගිය අතර ආරම්භක පිතිකරුවා ලකුණු 58 දී දුන් උඩපන්දුව රැකගැනීමට සධීර සමවික්‍රම බලවත් උත්සාහයක් ගත් නමුත් එයත් ගිළීහී ගියේය. මෙම අවස්ථා දෙකින්ම කදිම ප්‍රයෝජන ගත් ඇෆ්ඝනිස්තානු පිතිකරුවා, පන්දු 43 කින් ලකුණු 70 ක් ලබාගත්තේ හතරේ පහර 7 ක් සහ හයේ පහරක් ද ඊට ඇතුළත් කරමිනි. 

අනුකම්පා විරහිත ආක්‍රමණිකයා වූ හස්රතුල්ලා සසායිගේ පන්දු 22 ඉනිම හතරේ පහර 6 කින් සහ හයේ පහර 2 කින් සමන්විත විය. 

ගුර්බාස් දැවී යාමෙන් පසුව එක්වූ අස්මතුල්ලා ඔමර්සායි (31) සහ මොහොමඞ් නබී දෙදෙනා පන්දු 26 කින් ලකුණු 46 ක් එක්කරමින් 18 වැනි ඕවරය වන විට ලකුණු 180 සීමාවෙන් ඔබ්බට තම කණ්ඩායම කැඳවාගෙන ගියහ. පන්දු 8 කින් ලකුණු 16 ක් ලබාගත් කෝඩුකාර මොහොමඞ් ඉෂාක්ගේ නිර්භීත පහර දෙකක් සමගින් ඇෆ්ඝනිස්ථානුවෝ ලකුණු 200 කඩයිම පැන ගියහ. 

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් 4 ක් ඇතිව අද පිටියට පිවිසියේය. කුසල් ජනිත් පෙරේරා, අකිල ධනංජය, නුවන් තුෂාර සහ කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව සිටි අතර ධනංජය ද සිල්වා, චරිත් අසලංක, මහීෂ් තීක්‍ෂණ සහ බිනුර ප්‍රනාන්දු විවේක ගන්වනු ලැබූහ. 

ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 29 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යයි. 

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)


අදහස් (0)

ඇෆ්ඝනිස්ථානුවෝ ජාම බේරාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.