Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඇඟට නොදැනෙන - හිතට දැනෙන ලකුණු පුවරුවේ පීඩනය

ඇඟට නොදැනෙන - හිතට දැනෙන ලකුණු පුවරුවේ පීඩනය

editorial - 2024 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ සිට..)

වර්තා පොතට එක්නොවූවත්, ඇෆ්ඝනිස්ථානයට එරෙහිව පල්ලේකැළේදී ඉරිදා (11 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී චරිත් අසලංක ක්‍රීඩා කළ ඉනිම ශතකයක් වටී. මක්නිසාද යත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 300 කඩයිම පැනගත හැකිවූයේත්, ඇෆ්ඝනිස්ථානුවන් ලකුණු පුවරුවේ පීඩනයට නතු වූයේත් අසලංකගේ ඉනිම හේතුවෙන් වන බැවිනි. 

ශ්‍රී ලංකාවේ ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට ගිය හෙයින් අෆ්ඝනිස්ථානුවන්ට ඉනිම ආරම්භයේ සිටම ඕවරයකදී ලකුණු 6 කට වැඩියෙන් ලබාගත යුතු විය. ඊබ්‍රහිම් සද්රාන් (54) සහ රහමත් ෂා (63) අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකණු 97 ක සම්බන්ධතාවක් තිබුණ නමුත්, 27 වැනි ඕවරයේදී සද්රාන් දැවී යන විට ලකුණු සංඛ්‍යාව වූයේ 128 කි. අපේක්‍ෂිත වේගයෙන් ගියේ නම් ඒ වන විට ලකුණු සංඛ්‍යාව 167 ක් හෝ ඊට වැඩි විය යුතුය. 

ඉතිරිව ඇත්තේ ඕවර 20 කි. තවත් ලකුණු 166 ක් අවශ්‍ය වී තිබේ. ලකුණු පුවරුවේ පීඩනය යනු එයයි. 
ඇෆ්ඝනිස්ථානුවන් ඇලේ ඇද වැටුණේ ඒ වෙලාවේ පැවැති පීඩනයට එරෙහිව ලකුණු රැස්කරන්නට යාමෙනි.
ලකුණු 143 දී රහමත් ෂාගේ ඉනිම නිමා කළ වනිඳු හසරංග, පසුව ඩිල්ෂාන් මධුශංක සමගින් එක්ව ලකුණු 10 ක් ඇතුළතදී සම්පූර්ණ කණ්ඩායමට අපසු ක්‍රීඩාගාරයට යැවූයේ මෙම ලකුණු පුවරුවේ පීඩනය ප්‍රයෝජනයට ගනිමිනි. එයින් සිදුවූයේ තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාව තරගාවලිය ජයගැනීමයි. 

“තරගයක් ඉතිරිව තියෙද්දීම තරගාවලිය ජයගැනීමට අපි සතුටුයි. 3-0 ක ජයග්‍රහණයකින් තරගාවලිය අවසන් කිරීමට ලැබෙනවා නම් අපි වඩාත් කැමතියි” යයි ජයග්‍රහණයේ ප්‍රධාන දායකයකු වූ චරිත් අසලංක තරගයෙන් පසුව පැවසීය. 

“පිතිකරු ලයිස්තුවේ අංක 5 කියන්නේ පීඩනය උපරිමයෙන් තියෙන තැනක්. ඔහු පිට්ටනියට යන්නේ ලකුණු 10 කට කඩුලු 3 ක් වැටිලා තියෙන විට වෙන්නත් පුළුවන්. කඩුලු 3 කට ලකුණු 200 ක් පුවරුවේ තියෙන වෙලාවක වෙන්නත් පුළුවන්. මේ අවස්ථා දෙකේදීම පීඩනය දැනෙන විදිය වෙනස්”

“මම ඒ විදිහට තරග 5 කදී විතර සෙල්ලම් කරලා තියෙනවා. ඒ වෙලාවට ඒ දේවල් කරගන්නේ කොහොමද කියලා, පුහුණුකරුවන්ගෙන් මට බොහෝ උපදෙස් ලැබී තියෙනවා. මම ඒ වෙලාවල් හසුරුවාගත්තු විදිහ ගැන සතුටුයි” යයි ද අසලංක පැවසීය. 

කුසල් සහ සධීර දෙදෙනා පන්දු 7 ක් ඇතුළත දැවී ගියද ඔව්හු හොඳ ලකුණු වේගයක් පවත්වා ගෙන ගියහ. කුසල් මෙන්ඩිස් දැවී යන විට ලකුණු වේගය 5.25 ක පැවැති අතර තවත් ඕවර 20 ක් පමණ ඉතිරි වී තිබිණ. අසලංක සහ ජනිත් ලියනගේ දෙදෙනාගේ සැලසුම වී තිබුණේ ඒ ආකාරයෙන්ම 40 වැනි ඕවරය දක්වා යාම වුවද, විටින් විට විශාල පහර කරා ගිය ජනිත් ලියනගේ පන්දු යවන්නන්ගේ ධෛර්ය සිඳ බිඳ දැම්මේය. එහි ප්‍රතිඵලය වූයේ අවසන් ඕවර 10 දී ලකුණු 96 ක් උදුරා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 300 කඩයිම පසුකිරීමයි. 

ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම තණතීරු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර තිබිණ. ලෝක කුසලාන තරගාවලියේදී ලැබුණු, පිතිකරුවන්ට යෝග්‍ය තණතීරු වලදීත් ඔව්හු ලකුණු 300ක් ලබාගැනීමට අසමත් වූහ. එහෙත් වත්මන් කණ්ඩායම තණතීරු සම්බන්ධයෙන් දරන්නේ වෙනස් මතයකි. 

“අපි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරඟ වලදී පිතිකරුවන්ට යෝග්‍ය තණතීරු බලාපොරොත්තු වෙනවා නම්  අපි ඒ වගේ තණතීරු මත ක්‍රීඩා කළ යුතුයි. අපේ පන්දු යවන්නෝත්, ඒ වගේ තණතීරු වලදී ප්‍රතිවාදීන් අඩු ලකුණු සංඛ්‍යාවකට නවතා ගැනීමේ කලාව ඉගෙන ගන්න ඕනේ” යයි අසලංක කියයි. 

“අනෙක අපි හොඳින් පන්දුවට පහර දුන්නා නම්, මේ වගේ දාහයක් (උණුසුමක්) තියෙද්දී අපට ඔවුන් වෙත පීඩනය යොදන්න පුළුවන්. ඒත් විදුලි ආලෝකය යට පන්දු යවන විට එය වේග පන්දු යවන්නන් ටිකක් විතර උපකාරී වෙනවා.  අනෙක, පින්න තියෙන අවස්ථාවලදී අපි හිතන දේ අපට වාසි විදිහට සිද්ධ වෙන්නේ නෑ... ඒක අපි වටහා ගන්න ඕනා” යයි ද අසලංක පැවසීය. 

ඊබ්‍රහිම් සද්රාන් සහ රහමට් ෂා අතර පැවැති දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව හිසරදයක් වෙමින් තිබිණ. ඒ අවස්ථාවේදී අසලංකත් නායක කුසල් මෙන්ඩිසුත් සැලසුම් කරමින් සිටියේ කෙසේ හෝ ලකුණු පාලනය කරගනිමින් අවසන් ඕවර 10 දී ලකුණු 100 ක පමණ ඉලක්කයක් ඇෆ්ඝනිස්ථානුවන් හමුවේ තැබීමයි. එහෙත් එක ලඟ පිතිකරුවන් කිහිප දෙනකු දැවී යාම හේතුවෙන් පසුපෙළ පිතිකරුවෝ කිසිවක් කරකියාගත නොහැකිව අසරණ වූහ. 

වනිඳු හසරංග කඩුලු 4 ක් දවාගනිද්දී ඩිල්ෂාන් මධුෂංක දවාගත්තේ කඩුලු 2 ක් වුවත්, දවාගත් කඩුලු සංඛ්‍යාවට සාපේක්‍ෂව ඔහුගේ පන්දු යැවීම ඉතාමත් ඉහළ අගයක පැවතිණ. 

ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර තුන්වැනි සහ අවසන් එක්දින තරගය බදාදා පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදීහ පැවැත්වෙයි. තරගය පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතය. 


අදහස් (0)

ඇඟට නොදැනෙන - හිතට දැනෙන ලකුණු පුවරුවේ පීඩනය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.