Last Update  :  2025-05-14 18:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අෂ්වින් ඉන්දීය ලෝක කුසලාන සංචිතයට

අෂ්වින් ඉන්දීය ලෝක කුසලාන සංචිතයට

editorial - 2021 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරග 4 ටම තෝරා නොගත් නමුත් විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කරන ලද ඉන්දීය සංචිතයට පිට දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් කැඳවීමට ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. වේගයෙන් ලකුණු රැස්කිරීමේ හැකියාවද ඇති ඔහු, අවසන් වරට විස්සයි20 තරගයකදී ඉන්දියාව නියෝජනය කර ඇත්තේ 2017 වසරේදීය.

2018 සහ 2019 වසරවල පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලීන්හිදී කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමේ නායකත්වය දැරූ අශ්වින්, එම වසර වලදී පිළිවෙලින් කඩුලු 10 ක් සහ 15 ක් දවාගැනීමට සමත් විය. 2020 වසරේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ ඔහු, දිල්ලි කැපිටල් පිල වෙනුවෙන් කඩුලු 13 ක් දවාගත්තේ 30.07 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි. කෙසේ වෙතත් මෙවර (2021) තරගාවලියේදී දිල්ලි කණ්ඩායම ක්‍රීඩා කළ තරග 8 න් 5 කට සහභාගි වූ අශ්වින්ට දවාගත හැකි වූයේ එක් කඩුල්ලක් පමණි.

අශ්වින්ට අමතරව අවසන් වරට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති විස්සයි20 තරගාවලියේදී ජාත්‍යන්තර වරම් දිනාගත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක වරුන් චක්‍රවර්තිටද ඉන්දීය ලෝක කුසලාන සංචිතයේ ස්ථානයක් හිමිවී ඇත. ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරග 3 දී කඩුලු 2 ක් පමණක් දවාගත්ද, 2020 වසරේ පැවැති අයි.පී.එල්. තරගාවලියේදී කඩුලු 17 ක් දවාගනිමින් වැඩිම කඩුලු ලභීන් අතරට එක්වීමට වරුන් සමත් විය.

 අශ්වින්ගේ සහ වරුන්ගේ එක්වීමත් සමග පිට දඟ පන්දු යවන්නන් දෙදෙනකුගෙන්, වමත් දඟ පන්දු යවන්නන් දෙදෙනකුගෙන් සහ පා දඟ පන්දු යවන්නකු‍ගෙන් ඉන්දීය දඟ පන්දු බලෑණිය ශක්තිමත් වනු ඇත. කෙසේ වුවත් මෑත කාලයේදී ඉන්දීය විස්සයි20 කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනන දස්කම් දැක්වූ පා දඟ පන්දු යවන ක්‍රීඩක යුස්වේන්ද්‍ර චහාල්ට සහ චයිනමන් පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදව්ට ලෝක කුසලාන සංචිතයේ ඉඩක් වෙන්වී නොමැත.

අවසන් වරට පැවැති ශ්‍රී ලංකා සංචාරයේදී ජාත්‍යන්තර වරම් දිනාගත් රාහුල් චාහර් ඉන්දීය ලෝක කුසලාන සංචිතයට ඇතුළත්ව සිටින එකම පා දඟ පන්දු යවන්නා වේ. ශ්‍රී ලංකාව එරෙහිව විස්ස20 තරග 2 කට ක්‍රීඩා කළ ඔහු එහිදී කඩුලු 4 ක් දවාගත්තේ 10.40 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි. මෙවර (2021) අයි.පී.එල්. තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් 5 දෙනා අතර රැදී සිටින රාහුල්, තරග 7 කදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 11 කි.

 ශ්‍රී ලංකා සංචාරයේදී ඉන්දීය සීමිත ඕවර කණ්ඩායම මෙයෙහවූ ආරම්භක පිතිකරු ශිකර් ධවාන්ටද ලෝක කුසලාන සංචිතයේ ස්ථානයක් හිමිවී නොමැත. ඒ අනුව උප නායක රෝහිත් ශර්මා සහ ලෝකේෂ් රාහුල් ලෝක කුසලාන තරගාවලියේදී ‍ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කිරීමට නියමිතය. ඔවුන් දෙදෙනාගෙන් අයෙක් ආබාධයකයට ලක් වුවහොත් පමණක් නායක විරාට් කෝලි හෝ සංචිතයේ අතිරේක කඩුලු රකින්නා ලෙස කටයුතු කරන ඉෂාන් කිෂන් ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කරනු ඇත.

අයි.පී.එල්. තරගාවලියේදී මෙන්ම ශ්‍රී ලංකා සංචාරයේදීද දිගින් දිගටම ලකුණු අතර සිටි සූර්යකුමාර් යාදව් සමගින් කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් ඉන්දීය කණ්ඩායමේ මැද පෙළ ශක්තිමත් කරති. හර්දීක් පාණ්ඩ්‍යා, රවින්ද්‍ර ජදේජා සහ අක්සර් පතෙල් තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස සංචිතයට ඇතුළත්ව සිටින අතර පාණ්ඩ්‍යා මඳවේග පන්දු යැවීමෙන්ද, ජදේජා සහ පතෙල් වමතින් දඟ පන්දු යැවීමෙන්ද ඉන්දීය කණ්ඩායමේ පන්දු යැවීමේ බළෑණිය ශක්තිමන් කරනු ඇත.

දිගින් දිගටම දස්කම් අතර සිටි වේග පන්දු යවන්නන් තිදෙනකුගෙන් ඉන්දීය සංචිතය සමන්විත වන අතර ජස්ප්‍රීට් බුම්රා එහි ඉදිරියෙන්ම සිටියි. බුවනේෂ්වර් කුමාර් සහ මොහොමඩ් සාමි සෙසු වේග පන්දු යවන්නන් දෙදෙනා වන අතර වමතින් වේග පන්දු යවන ක්‍රීඩක ටී. නටරාජන්ට සංචිතයේ ස්ථානයක් හිමිකර ගැනීමට නොහැකි වී ඇත. ශ්‍රෙයාස් අයියර්, දීපක් චාහර් සහ ශර්දුල් ඨාකූර් සංචිතයේ අතිරේක ක්‍රීඩකයෝ ලෙස කටයුතු කරති.‍

ඉන්දීය ලෝක කුසලාන සංචිතය
විරාට් කෝලි (නායක), රොහිත් ශර්මා (උප නායක), ලොකේෂ් රාහුල්, සූර්යකුමාර් යාදව්, රිෂාබ් පාන්ට්, ඉෂාන් කිෂන්, හර්දීක් පාණ්ඩ්‍යා, රවින්ද්‍ර ජදේජා, රාහුල් චාහර්, රවිචන්ද්‍රන් අශ්වින්, අක්සර් පටේල්, වරුන් චක්‍රවර්ති, ජස්ප්‍රීට් බුම්රා, බුවනේෂ්වර් කුමාර් සහ මොහොමඩ් සාමි


-036  


අදහස් (0)

අෂ්වින් ඉන්දීය ලෝක කුසලාන සංචිතයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.