Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අනේ අපි කවදාක හිනැහෙමුද ඒ ලෙසේ

අනේ අපි කවදාක හිනැහෙමුද ඒ ලෙසේ

editorial - 2021 ජුලි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



(දමින්ද විජේසූරිය)

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත් පළමු එක්දින තරගයේදී ඉන්දීය පිතිකරුවන් ලකුණු 263 ක ඉලක්කය පන්දු 221 කින් හඹා ගියේ අර්ජුන රණතුංග කී කතාවට පිළිතුරු දීමට ය යන්න බහුතර මතයයි. එහෙත් මේ කතාවේ තවත් පැත්තක් ද තිබේ. එනම් අවසන් මොහොතේදී ලෝක කුසලාන සුපිරි ලීගයට ඇතුළත් කරන ලද ඉන්දු - ශ්‍රී ලංකා එක්දින තරගාවලියේදී ලකුණු ලබාගැනීමේ වේගයත් යම්තාක් දුරට තීරණාත්මක සාධකයක් වන බවයි.

කිසියම් හෙයකින් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව සම වුවහොත්, කණ්ඩායම් ලයිස්තුවේ නියමිත ස්ථානය තීරණය කරගැනීම සඳහා ශූද්ධ ලකුණු වේගයද ඉවහල් වන බැවින් අවස්ථාව ලැබුණු මොහොතේදී හැකි උපරිම ශුද්ධ ලකුණු වේගයක් ලබාගැනීම ඉන්දීය පිලේ ඉලක්කයක් විය.

අනෙක් අතට නායක ශිකාර් ධවාන්ගේ පිතිහරඹය ද ඉහළම මට්ටමේ තිබිණ. කණ්ඩායමේ පැංචලා දෙන්නා වූ 21 හැවිරිදි ප්‍රිත්වි ෂෝටත් 23 හැවිරිදි ඉෂාන් කිෂාන්ටත් රිසිසේ පහර කරා යන්නට ඉඩහැර, ඉනිමේ බර හිසමත දරාගෙන තමන්ගේ කඩුල්ල ආරක්‍ෂා කරගැනීම ධවාන්ගේ අභිප්‍රාය වූයේ පසුව ඇතිවන තත්ත්වයට මුහුණ දීම සඳහාය. වෘත්තීය මට්ටමේ කණ්ඩායම් ක්‍රීඩා කරන්නේ එලෙසිනි.

මේ වසරේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රධාන කාණ්ඩයට එක්වීම සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරගවලියකට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවී තිබේ. ඒ ආකාරයෙන්ම වසර 2023 දී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියේ ප්‍රධාන කාණ්ඩයට එක්වීම සඳහාත් සුදුසුකම් තේරීමේ තරගාවලියකට යන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුවහොත් එය පුදුමයට කාරණාවක් නොවේ. මක්නිසාද යත් ලෝක කුසලාන සුපිරි ලීගයේදී ශ්‍රී ලංකාව මෙතෙක් සහභාගි වූ තරග 10 න් ජයගෙන ඇත්තේ එකම තරගයක් පමණක් වන බැවිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම දැනට සිටින්නේ කණ්ඩායම් 13 කින් 12 වැනි ස්ථානයේය. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමට නම් තවමත් ඒ ගැන වගේ වගක් නැති සේය.

ඉරිදා තරගයෙන් පසුව චාමික කරුණාරත්න කීවේ අපූරු කතා පෙළකි.

“අපේ පිතිකරුවන් හුඟක් දෙනකුට හොඳ ආරම්භයක් ලැබුණා. ඒත් අපි කිසි කෙනෙක් ඒවායින් ප්‍රයෝජනයක් ගත්තේ නෑ... අපි උත්සාහ කළේ ටිකක් දිගු ඉන්මක් ක්‍රීඩා කරන්න”

“මමයි දසුනුයි එකට පන්දුවට පහර දෙද්දී, 42 වැනි නැත්නම් 43 වැනි ඕවර වලදි, මම ඇහැව්වා මම ටිකක් ලොකු පාරකට දෙකකට යන්නද කියලා. ඒත් එයා මට කිව්වේ 45 වැනි ඕවරය වෙනකම් ඉන්න කියලයි.... අපේ අනිත් පිතිකරුවන් ටිකක් දිගු ඉනිම ක්‍රීඩා කළා නම් මීට වඩා වේලාසනින් ආක්‍රමණශීලී පහර කරා යන්නත් වඩා විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යන්නත් අපට අවස්ථාව තිබුණා” යයි කී කරුණාරත්න..

“ලකුණු 300 ක් නැත්නම් 350 ක් ගහන්න අපට බැරි කමක් නෑ. බොහෝ වෙලාවට ඊළ`ඟ තරග වලදී ඒක වෙයි” යයි ද තරගයෙන් පසුව මාධ්‍ය හමුවේ පැවසීය.

චාමික කරුණාරත්න එසේ කීවත් ශ්‍රී ලංකා ඉනිම පිරී තිබුණේ නිලකුණු පන්දු වලිනි. ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් කිසිවකුට ලකුණු 50 ක් වත් ලබාගත නොහැකි විය.

ශ්‍රී ලංකා පිතිකරුවන් මුහුණ දුන් පන්දු 301 න් පන්දු 159 ක් නිලකුණු පන්දුව වූ අතර ශ්‍රී ලංකා ඉනිමේ තනි ලකුණු 98 ක් විය. මෙම දත්ත එක්කළ කල්හි පන්දු 257 කින් ශ්‍රී ලංකා පිතිකරුවන් ලබාගෙන තිබුණේ ලකුණු 98 ක් පමණි.

එක්දින තරග යනු විස්සයි-20 තරග මෙන් ඉවක් බවක් නැතිව පහර දෙන ක්‍රීඩාවක් නොවන බව ඉන්දීය පිතිකරුවෝ කදිමට කියා දුන්හ. ඔවුන්ගේ ලකුණු 263 ගොඩනැඟුණේ සම්බන්ධතා 4 කිනි. ඉන්දීය ඉනිමේ සම්බන්ධතා සටහන් වූයේ පිළිවෙලින් ලකුණු 58, 85, 72 ක් සහ 48 ක් ලෙසිනි.

“මේ තණතීරුව ටිකක් මන්දගාමීයි. ඒ නිසා අපි කතාකළේ පන්දු රකින්නන් අතර පරතරයන් තෝරාගෙන ලකුණු ලබාගැනීමයි.... ඒත් ඔවුන් ඉතාමත් හොඳින් පන්දු යැව්වා. ඔවුන් පන්දුව නියමිත ස්ථාන වල පතිත කළා විතරක් නෙමේ එයාලගේ නායකයා ක්‍රීඩකයන් නිසි තැන්වල රඳවා තිබුණා” යයිද චාමික කරුණාරත්න පැවසීය.
 
චාමික කියූ තණතීරුවේ මන්දගාමීත්වය ඉන්දීය පිතිකරුවන් පන්දුවට පහර දෙද්දී දැකගත නොහැකි විය. ඕවර 5 කින් ලකුණු 57 ක් පුවරුවට එක්කළ ඉන්දීය පිතිකරුවෝ 15 වැනි ඕවරය දක්වාත් ලකුණු වේගය 8.0 කට ඉහළින් තබාගත්හ. 25 වැනි ඕවරයේදීත් ලකුණු වේගය 7.00 ඉක්මවා තිබිණ. එහෙත් කඩුලු දැවී යාමක් පෙන්නුම් කළේද නැත. අවසානයේදී තරුණයාට තමන්ගේම වචන ගිලගැනීමට සිදුවිය.

“අපි උත්සාහ කළේ නිලකුණු පන්දු යවනවාට වඩා කඩුලු දවාගන්නයි. අපි අපේ බවුන්සර් පන්දු වගේම වේගයත් යොදා ගැනීමට අදහස් කළා....ඔවුන් දක්‍ෂ කණ්ඩායමක්. අපි දැනගෙන හිටියා අපට පහර දේවි කියලා. ඒත් අපි කඩුලු දවාගත්තා නම් ඔවුන්ව කිසියම් ආකාරයකින් නතර කරගන්න තිබුණා.”

“අධිවේගී ඕවර කිහිපයේදී අපි කඩුල්ලක් දවාගත්තා. ඒ කාලය ඇතුළතදී තවත් කඩුල්ලක් හෝ දෙකක් දවාගන්න ලැබුණා නම් මේ තරගය වෙනස් කරන්නත් තිබුණා” යයිද චාමික කරුණාරත්න පැවසීය.

තවමත් එක්දින තරග 5 ක කජු කිරි කොල්ලෙකු වන චාමික කරුණාරත්න කී දේවල් ගැන ඔහුට දොස් පරොස් කිව නොහැකිය. ඔහු දීප්තිමත් අනාගතයක් හිමි තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. ඒත් මේවා ගැන මීට වඩා හිතන්නට හැකි, පොඩිඋන් කරළියට යවන්නට පෙර, කණ්ඩායමේ බර දරාගනිමින් කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටිය හැකි, ක්‍රීඩයකු දෙන්නකු සිටී නම් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ට මීට වඩා සහනයක් ලැබෙනු නිසැකය.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන් සියලු දෙනාම මේ දවස්වල කරමින් සිටින්නේ එකම දෙයකි. එනම් ශ්‍රී ලංකා කණ්ඩායමේ 90 දශකයේත් 2000 දශකයේත් වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගැනීමයි.  ඒවා බලමින් අතීතය රස විඳීමයි.

ඔවුන් බහුතරයකගේ තුඬග ඇත්තේ එකම වාක්‍ය කණ්ඩයකි. ඒ නන්දා මාලිනියගේ කර්ණ රසායන ගීතයක ඇති “අනේ අපි කවදාක හිනැහෙමු ද ඒ ලෙසේ’ යන්නයි.

 

චාමික කරුණාරත්න...

 

ඉෂාන් කිෂාන් ...


අදහස් (0)

අනේ අපි කවදාක හිනැහෙමුද ඒ ලෙසේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.